කාර්මික සබඳතා පනත සංශෝධනය කිරීමේ කමිටුව අගෝ. (25) රැස්වේ

labour-department

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන් සඳහා කෙටුම්පත් කරන ලද කාර්මික සබඳතා පනත සංශෝධනය කිරිම සඳහා පත් කරන ලද කමිටුවේ ප්‍රථම රැස්වීම අගෝස්තු 25වෙනිදා පැවත්වන බව කම්කරු අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යංශ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා ඇතුළු මෙම කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශයේ දි මෙම රැස්වීම පැවත්වීමට නියමිතව ඇත.

වෘත්තීය අයිතිවාසිකම් සුරකින පරිදිත්, ජාත්‍යයන්තර කම්කරු සංවිධානය විසින් හඳුන්වා දී ඇති ප්‍රඥප්තීන්ට අනූකූලවත්, ත්‍රෛපාර්ශවීය සබඳතා තහවුරුවන, කාර්මික සාමය සැලසෙන අයුරින් මෙම සංශෝධන සහිත පනත ඉදිරිපත් කරන බව ද කම්කරු අමාත්‍ය සහ ආර්ථික  සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.