සිංහල භාෂාවෙන් පළවන ප්‍රවෘත්තී 66% සාවද්‍යයි - ලර්න් ඒෂියා (LIRNEasia)

fake-news

සිංහල භාෂාවෙන් පුවත් පරිශීලනය කරන්නන්ගෙන් 66% ක් වැරදි පුවත් ලැබුණු බව ලර්න් ඒෂියා (LIRNEasia) කළ සමීක්ෂණයකදී හෙළිවී ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ,

ලර්න් ඒෂියා (ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කලාපීය ප්‍රතිපත්ති චින්තන පර්ෂදයක්) විසින් මෑතකදී කරන ලද ජාතික වශයෙන් නියෝජිත සමීක්ෂණයකින් හෙළි වූයේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි සිංහලෙන් ප්‍රවෘත්ති කියවන්නන්ගෙන් 80% කට වඩා වැඩි පිරිසක් අන් අය සමඟ ප්‍රවෘත්ති සක්‍රීයව බෙදා ගන්නා බවයි. එම ප්‍රවෘත්ති පරිශීලකයන්ගෙන් 66% ක් කියා සිටියේ ඔවුන්ට අසත්‍ය හෝ නොමඟ යවන සුළු පුවත් ලැබී ඇති බවයි. අන් අය සමග ප්‍රවෘත්ති සක්‍රීයව බෙදා ගන්නා සහ නොමග යන සුලු ලැබී ඇති අයගෙන් 56% මින් පෙර එම අසත්‍ය ප්‍රවෘත්ති අන් අය සමග බෙදා ගත් බව සදහන් කලේය. සිත්ගන්නා කරුණ වන්නේ, ඔවුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් කියා සිටින්නේ එම ප්‍රවෘත්තිය සාවද්‍ය බව අන් අයට දැනුම් දීමට හිතාමතාම එය බෙදාගත් බවයි.

රට පුරා අහඹු ලෙස තෝරාගත් සිංහල ප්‍රවෘත්ති කියවන්නන් 1,700 කට වැඩි පිරිසකගේ ප්‍රතිචාර එක්රැස් කරන ලද මෙම සමීක්ෂණය, අසත්‍ය තොරතුරු පැතිරීම නිසා ඇතිවන ගැටලු පිළිබඳ අවධානය යොමු කලේය. ප්‍රවෘත්ති සක්‍රීයව බෙදාගන්නන්ගෙන් තුනෙන් දෙකක් කියා සිටියේ බෙදා ගැනීමට පෙර ප්‍රවෘත්තිය සත්‍යයදැයි පරික්ෂා කරන බවයි. එවැනි ප්‍රවෘත්ති සත්‍යදැයි තහවුරු කර ගැනීම සඳහා බොහෝ දෙනෙක් පවුලේ අය සහ මිතුරන් වෙත යොමු වූ අතර, විශ්වාසය ගොඩනැගීමේදී සහ විශ්වසනීයත්වය තහවුරු කිරීමේදී පෞද්ගලික සම්බන්ධතාවල විශේෂත්වය පෙන්නුම් කරයි.

සමීක්ෂණයෙන් පසුව සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවලදී, සිංහල පුවත් පරිශීලකයින් තොරතුරු වල විශ්වසනීයත්වය තක්සේරු කිරීම සඳහා භාවිතා කරන විවිධ උපාය මාර්ග අනාවරණය විය. “මම බලන්නේ පෝස්ට් එක දැම්මේ සහතික කළ පේජ් එකකින්ද කියා. සැකයක් තියෙනවා නම්, මම ඔරිජිනල් පේජ් එකට යනවා නැතිනම් තොරතුර ගැන සාක්ෂි සෙවීමට උත්සාහ කරනවා,” කළුතර පදිංචි 23 හැවිරිදි උමාදේවි පැවසුවාය. තවත් අයෙක් මෙසේ පැවසීය, “මැතිවරණ කාලෙදි ෆේක් පේජ් හදන අය ඉන්නවා…ඒ නිසා මම හැමතිස්සෙම ගිනුම පරීක්ෂා කරනවා.” තවත් සමහරු කියා සිටියේ තීරණයක් ගැනීමට පෙර කොමෙන්ට්ස් කියවන බවයි.

සමීක්ෂණයට අමතරව, වැරදි තොරතුරු වලට එරෙහි වීමට උපකාරී වන විවිධ ක්‍රියාකාරකම් ක්‍රමවේදවල ඵලදායීතාවය පරීක්ෂා කිරීම සඳහා ලර්න්නේෂියා විසින් පාලිත පරීක්ෂණයක් සිදු කරන ලදී. නැගෙනහිර, බස්නාහිර සහ දකුණු පළාත්වල සිටි 800කට වැඩි සහභාගීකරුවන් එක් එක් ක්‍රියාකාරකම් ක්‍රමවේදවලට නිරාවරණය කරන ලදී. ඒ අනුව, ඔවුන් පන්තිකාමරය තුළ පවත්වන පුහුණු වැඩසටහනක්, අධ්‍යාපනික වීඩියෝවක්, ඔන්ලයින් ක්‍රීඩාවක්, තොරතුරු පරීක්ෂණය සඳහා වට්ස් ඇප් සාමූහිකයක් සහ තොරතුරු පරීක්ෂණ වෙබ් අඩවියක් (Fact-Checking Website) යන ක්‍රියාකාරකම් වලින් එකකට සහභාගී කරවන කරන ලදි. ක්‍රියාකාරකම් වලට පෙර සහ පසු, ආර්ථික ප්‍රවෘත්ති, දේශගුණයට අදාළ ප්‍රවෘත්ති සහ ජනවාර්ගික-ආගමික ප්‍රවෘත්ති යන මාතෘකා තුනක් යටතේ සත්‍ය, බොහෝ දුරට සත්‍ය, බොහෝ දුරට අසත්‍ය සහ අසත්‍ය පුවත් මිශ්‍රණයක් අඩංගු කාඩ්පත් 120 ක් සත්‍ය අසත්‍ය ලෙස වර්ගීකරනය කරන ලෙස සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටීමෙන්,  ඔවුන්ගේ වැරදි තොරතුරු හඳුනා ගැනීමේ හැකියාව පරීක්ෂා කරන ලදී.

සියලුම ක්‍රියාකාරකම්වලින් අසත්‍ය තොරතුරු හඳුනා ගැනීමේ හැකියාවෙහි යම් දියුණුවක් සිදුවූ නමුත්, එම වර්ධනය සාමාන්‍ය මට්ටමේ පමණක්විය. එම ක්‍රියාකාරකම් අතරින්, පුහුණු වැඩසටහන් සහ අධ්‍යාපනික වීඩියෝ වඩාත් ඵලදයී විය. ග්‍රාමීය ප්‍රදෙශවල සහභාගීකරුවන් සහ වයස අවුරුදු 46–65 අතර පිරිස අතර පුහුණු වැඩසටහන් විශේෂයෙන් කාර්යක්ෂම බව පෙන්නුම් කළ අතර, අධ්‍යාපනික වීඩියෝවන් වල බලපෑම කාන්තාවන් අතර වැඩි විය. විශේෂයෙන් ම, දේශගුණය ගැන වැරදි තොරතුරු හඳුනාගැනීමේ හැකියාව කිසිදු ක්‍රියාකාරකමකින් ඵලදායි ලෙස වර්ධනය වූයේ නැත.

“වැරදි තොරතුරු හදුනා ගැනීමට සිදුකරන ක්‍රියාකාරකම් විවිධ ජන ප්‍රජාවන්ට ගැලපෙන ආකාරයට සකස් කල යුතුයි” යනුවෙන් ලර්න් ඒෂියා හි පර්යේෂක ඉසුරු සමරතුංග, පර්යේෂණ සොයා ගැනීම් එළිදැක්වීමේ වැඩසටහනේ දී පැවසීය.

"අපි අත්හදා බලපු බොහෝ ක්‍රියාකාරකම් මගින් වැරදි තොරතුරු හඳුනා ගැනීමට සිංහල පුවත් කියවන්නන්ට ඇති හැකියාව වැඩි වුනේ සුළු වශයෙන් පමණි. එබැවින් අපි අවධානය යොමු කළ යුත්තේ අපට ඇති සීමිත මුදල් ඉහළම ප්‍රතිපලයක් සහිත ක්‍රියාකාරකම් ක්‍රමවේද සඳහා යොදවන්නේ කෙසේද යන්න ගැන සිතා බැලිය යුතුය. නමුත් කිසිවක් නොකිරීම විකල්පයක් නොවේ. අත්හදා බැලීමේ කාලය තුළ අපගේ පාලිත කණ්ඩායමේ, එනම් කිසිදු ක්‍රියාකාරකමකට භාජනය නොවූ කණ්ඩායමේ, අසත්‍ය තොරතුරු හඳුනා ගැනීමේ හැකියාව තවදුරටත් පිරිහීමට පත්විය”, යි ලර්න් ඒෂියාහි ප්‍රධාන විධායක නිලධාරිනි හෙලානි ගල්පාය පැවසුවාය.

2025 ජූලි 3 වන දින කොළඹ පැවති පර්යේෂණ සොයා ගැනීම් එළිදැක්වීමේ වැඩසටහනේ දී අධ්‍යයන ප්‍රතිඵල නිල වශයෙන් ඉදිරිපත් කරන ලද අතර, ප්‍රමුඛ පෙළේ විද්වතුන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ නියෝජිතයන් සමඟ සාකච්ඡා මණ්ඩපයක් පැවැත්විණි.

මෙම අධ්‍යයනය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා - ඉසුරු සමරතුංග,  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ලර්න් ඒෂියා යනු කලාපීය රටවල ද තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය හා සම්බන්ධ ප්‍රතිපත්ති හා නියාමයන් වෙනුවෙන් අදහස් සම්පාදනය කරන ආයතනයකි. එහි අරමුණ වන්නේ දැනුම, තොරතුරු හා තාක්ෂණය යොදවමින් ආසියා ෆැසිපික් රටවල ජනතාවගේ ජීවන තත්වයන් නංවාලීම පිණිස දෘඩාංග හා මෘදුකාංග පහසුකම් යොදාගැනීම සඳහා නව ප්‍රතිපත්ති නව්‍යකරණයට පර්යේෂණ සිදුකිරීමයි. ලර්න් ඒෂියා වර්ෂ 2005 සිට ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ ජීවන ත්ත්වය වැඩිදියුණු කිරීම සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධව පර්යේෂණ වල ක්‍රියාකාරීව නිරත වේ. ලර්න් ඒෂියා ආයතනය පිළිබඳ වැඩිදුර විස්තර සදහා අපගේ වෙබ් අඩවියට (www.lirneasia.net) හෝ හෝ ට්විටර් ගිණුමට (@lirneasia) පිවිසෙන්න.