- සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව් මිහිතලේ අසරණුන් පිබිදියව් කන්න නෑ බොන්න නෑ වස්ත්‍ර නෑ රස්සා නෑ පුරවැසි කිසි සැපක් අපට නෑ …
- දැන් යමවූ අප සැමා විප්ලවේ හඬ නගා වතුපිටි ෆැක්ටරි ගන්නටා.
- අධිරදේ සුන්කරව් දන බලේ නැති කරව් කම්කරු ආණ්ඩුවක් පිහිටව්.
සියවන වියට පා තැබු මිට මොළවා ගත් අපොන්සුගේ වම් ඉවුරේ මැයි දින සටන් පාඨ එදා මෙන් අදත් ජවසම්පන්නව ඇසෙන්නේය. එදා අසරණ වූ මිනිසුන් වෙනුවෙන් නැගීසිටි නිර්ව්‍යාජ මිනිසකුගේ වියැකී යන අවංක හඬ එහි ගැබ්ව ඇති බව අසන ඕනෑම අයෙකුට හැඟෙන්නේය.
එකසිය තිස් අටවන ලෝක කම්කරු දිනය උදාවන්නට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති මේ මොහොතේ තම දිවියේ ශතකය පසු කර වෘත්තිය සංගම් සහ කම්කරු ප්‍රජාව නියෝජනය කරමින් මැයි දින පෙළපාලි හැත්තෑ පහකට අධික ප්‍රමාණයකට සහභාගි වෙමින් තම දිවිය වම් ඉවුරේ දේශපාලනය වෙනුවෙන්ම කැප කළ තවත් ආදරණීය පොදුජන හිතවතකු සොයාගන්නට ඔහු ගැන ලියැවුණු අපොන්සු සහෝදරයා, වම් ඉවුරේ සිය වසරක් නම් සමන් සී ලියනගේ මහතා විසින් රචිත චරිතාපදාන කෘතියකින් අපට හැකි විය. අපොන්සු සහෝදරයාගේ සියවෙනි ජන්ම දිනය සැමරුම සහ එතුමන්ගේ සංක්ෂිප්ත චරිතාපදානය පසුගිය දෙසැම්බර් මස 23 වන දින එළිදක්වා තිබුණි.
මෙම යුග පුරුෂයා ගැන සටහනක් තැබීමට මත්තෙන් ප්‍රථම මැයි දිනයේ ආරම්භය සම්බන්ධයෙන් සඳහන් කිරීම සුදුසු යැයි අපට සිතෙන්නේ මැයි දිනයේ වැදගත්කම වර්තමාන ජන සමාජයේ නොදැනුවත්කමින් කූට දේශපාලඥයින්’ තම ග්‍රහණයට ගෙන දේශපාලනකරණයට ලක්කර හුදෙක් බලය අරබයා පමණක් මැයි දින සැමරීම් සිදු කරන නිසාවෙනි.
| පවුලේ අය සමඟ
ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවරදී දිනකට වැඩ කරන පැය ගණන අටක් කරන ලෙස ඉල්ලා 1886 දී මහා වැඩ වර්ජන සහ විරෝධතා රැල්ලක් දියත්ව තිබුණි. හාම්පුතුන් විසින් සේවකයින් තලා පෙලා දිනකට පැය දහය දොළහ වැඩ ගැනීම් දිගින් දිගටම සිදුවූ කාලවකවානුවක මෙසේ කම්කරුවන් තම අයිතිවාසිකම් ඉල්ලමින් දියත් කෙරුණු ඒ මහා වැඩ වර්ජනයේදී විරෝධතාව’ පාලනයට එදා පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් විරෝධතාකරුවන් විශාල පිරිසක් මරුවට පත්ව ඇති අතර එදා පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් විරෝධතාකරුවන් අත රැඳී’ සුදු පැහැති විරෝධතා ධජ විරෝධතාකරුවන්ගේ රත්ත වර්ණ රුධිරයෙන් රත්පැහැ ගැන්වී ඇත. එකා පිට එකා ඇදවැටෙද්දී විරෝධතාකරුවන් තම වැටුණු සටන් සගයන්ගේ රත්පැහැ ගැන්වුණු ධජ රැගෙන පෙරට ගිය බව සඳහන් වන අතර එතැන් පටන් කම්කරු ප්‍රජාව නියෝජනය කිරීම සඳහා රක්ත වර්ණයෙන් යුත් ධජ යොදාගත් බවට සඳහන්වේ.
මෙම සිදුවීම ඇමෙරිකා එක්සත් ජනපදයේ එසේ සිදුවෙද්දී එය ලෝකෙ පුරා මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර එනිසාම එම දිනය ජාත්‍යන්තර කම්කරු දිනය බවට ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 1890 දී ලන්ඩනයේ කම්කරුවෝ පිරිසක් මහා පෙළපාලියක් පවත්වමින් එදා විරෝධතාවයේ යෙදී සිටියදී මියගිය සටන්කාමීන් සිහිපත් කරමින් ප්‍රථම මැයි දිනය සැමරූ බවත් ඒ අනුව ලෝකය පුරාම රටවල’ වාමාංශික මතධාරී දේශපාලන පක්ෂ අතර මැයි දින සැමරීම ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් එවකට ලංකාව බි්රතාන්ය යටත්විජිතයක්ව පැවති සමය වු අතර ඒ වන විට එවැනි දෙයක් සංවිධානය කිරීමට තරම් වූ දේශපාලන බලවේගයක් හෝ කම්කරු සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ බිහිව නොතිබුණි.
| මැයි පෙළපාලියකට සහභාගි වෙමින්
එහෙත් 1928 වසර පමණ වනවිට ඒ. ඊ. ගුණසිංහ මහතා ලංකාවේ කම්කරු සමිති ව්‍යාපාරයේ ආරම්භකයා වෙමින් ලංකාවේ ප්‍රථම වතාවට මැයි දිනයක් සැමරීමේ පුරෝගාමියා බවට පත්ව ඇත්තේය.
අද අපේ කථානායකයා වන්නේ කම්කරු අරගල තුළ සටන් අරගල හර්තාල් හා ජන අරගල තුළ කැපී පෙනෙන චරිතයක් ලෙස පානදුර ප්‍රදේශය නියෝජනය කරමින් සම සමාජය ප්රමුඛ වමේ ව්‍යාපාරය තුළ සිටි මහා දැවැන්ත වෘක්ෂයක මුදුන් මුලකි. සම සමාජ ඇතුළු වමේ ව්‍යාපාරය සිදු කළා වූ ඒ මහා කැපවීම්වල ජීවමාන සාක්ෂිකරුවා ඔහු ලෙස හැඳින්විය හැක්කේය.
ඔහු නමින් වින්සන් අපොන්සුය. 1923 දෙසැම්බර් 25 වැනි දින හඟුරන්කෙත මැතිවරණ කොට්ඨාසයේ දෙනිකෙ ග්‍රාමයේදී පීටර් අපොන්සුට සහ රාජනායක මුදියන්සේලාගේ කෝරළේ ගෙදර හීන් මැණිකාට දාව උපත ලබන අපොන්සු මහතා සහෝදර සහෝදරියන් අටදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නාය. දෙනිකෙ පාසලෙන් හය හතර හැදෑරූ ඔහු පසුව පොරමඩුල්ල පාසලට ඇතුළු කිරීමට දෙමාපියන් කටයුතු කළත් හදිසියේ පියාගේ රැකියාව අහිමිවීම මත ඇතිවන ආර්ථික දුෂ්කරතා හේතු කොටගෙන වයස අවුරුදු 12 දී පාසල් දිවියට සමුදීමට පුංචි අපොන්සුට සිදුවිය.
පාසල් දිවිය අතරමග නවතා දැමූ පුංචි අපොන්සුගේ ඊළඟ නවාතැන වුයේ රිකිල්ලගස්කඩ තේ කඩයකය. එහි වේටර්වරයෙක් ලෙස රැකියාවට යන වින්සන්ගේ දෛනික රාජකාරිය වූයේ මහනුවර සිට පදියපැලැල්ල මාර්ගයේ යනෙන රථ වාහන කඩපොළේ නතර කළ විට ඒවායේ සිටින්නන්ට තේ කෝපි අලෙවි කිරීමයි.
වයස අවුරුදු 15ක් පමණ තෙක් එහි සේවය කළ අපොන්සු දිනක් කඩපළේ තේ බීමට නැවතූ මිනින්දෝරු කණ්ඩායමක කොස්තා මහතා නමැති’ ප්‍රධානියා සමග කුළුපග වී මිනින්දෝරු කණ්ඩායමේ රැකියාවක් ලබාගන්නේය.
ඉන්පසු වසරකට වැඩි කලක් කොස්තා මහතා යටතේ මිනින්දෝරු කණ්ඩායමේ කටයුතු කරන අපොන්සු තරුණයා කොස්තා මහතාගේ දැනුම් දීම පරිදි කොළඹ කොහුවල ප්‍රදේශයේ ඔහුගේ නිවසට පැමිණෙන්නේ වෙනත් රැකියාවක් ලබාගැනීමේ අරමුණිනි. එහිදී අපොන්සුට රැකියාවක් ලබාදීමට බාරකෙරෙන්නේ කොස්තා මහතාගේ සොහොයුරෙකුටය. එහිදී ඔහු විසින් union place හි ඉන්ධන පිරුම්හලක තෙල් පොම්පකරු රැකියාවක් අපෝන්සුට සොයාදෙනු ලබයි. පසුව එහි සේවය කරමින් සිටින අතරතුර එහි නිතර පැමිණෙන ට්‍රැම්ප් කාර් එකවුන්ටන් මහතෙකු දැන හඳුනා ගන්නා අපොන්සු ඔහු මාර්ගයෙන් south western බස් සමාගමේ බඩු ගබඩාවක භාරකරු ලෙස රැකියාව ලබාගැනීමට කටයුතු කෙරිණි. මේවන විට අවුරුදු දහ අටක පමණ කොලුගැටයෙක් වූ ඔහුට නව රැකියාව ජීවිතයේ හැරවුම් ලක්ෂය විය.
එය ඔහුගේ වම් ඉවුරේ දේශපාලනයේ තිඹිරිගෙය විය. එකල මෙරට මගී ප්‍රවාහන කටයුතු ව්‍යාපාරය ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු මත රඳා පැවතුණි. western south සමාගමද ඒ සඳහා ප්‍රබල දායකත්වයක් සැපයීය. එහි ප්‍රතිඵලයක් ලෙස බස් රථවල අඩු පහසුකම් සේවකයින්ට අඩු සැලකිලි හා සේවකයන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවයක් නොමැතිකමින් සේවකයින් දැඩි පීඩාවට ලක්ව සිටි’ යුගයක් විය.
මෙකල සම සමාජ පක්ෂය මගින් වැඩබිම් මට්ටමින් වෘත්තීය සමිති ඒ ඒ ක්ෂේත්රයන්ට අදාළව’ පිහිටුවීම ආරම්භ කර තිබුණි. එදවස වින්සන් අපොන්සු සේවය කරන අතරතුර දිනක් කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු විසින් අපොන්සුගේ කණට කර රැකියාවේ සුරක්ෂිතභාවය සඳහා සමිතියක් පිහිටුවා ගන්නා ලෙස දැනුම් දීමෙන් පසු ඒ ගැන සිතා බැලූ වින්සන් නොබියව ඒ කටයුත්ත සූදානම් කර ඇත.
වැඩ කරන පන්තියේ අයිතිවාසිකම් දිනා ගැනීම අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිවීම මෙන්ම ප්‍රභූ ධනපති පැලැන්තියට එරෙහිව කම්කරුවන් පෙළගැස්වීම සම සමාජ පක්ෂයේ මූලික අරමුණු වලින් එකක් විය. ඒ අනුව සවුත් වෙස්ටන් බස් සමාගමේ සේවකයින්ද සහභාගි කරවා ගනිමින් පිහිටවූ සමස්ත ලංකා මෝටර් කම්කරු සමිතිය මෙරට පොදු මගී ප්‍රවාහන ක්ෂේත්රයේ ගැටලු සාකච්ඡා කළ පළමු වෘත්තීය සමිතිය ලෙස ඉතිහාස ගතවී ඇති අතර එම සමිතියේ ප්‍රබල සාමාජිකයෙක් ලෙස වින්සන් අපොන්සු කටයුතු කර ඇත.
| සම්මානයකින් පිදුම් ලබමින්
එතැනින් පටන් ගත් වින්සන් අපොන්සු සම සමාජය සමග එක්ව දියත් කළ සියලු වෘත්තීය සමිති ක්‍රියාවලදී පෙරමුණේ සිටිමින් ක්‍රියාකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එතැන් පටන් තමන් සේවය කළ රැකියා අහිමිවීමට එයම ප්‍රධාන සාධකය වී ඇත .
1940 දශකය ආරම්භ වන විට යන්තම් වයස 18 සම්පූර්ණ වූ කොලුගැටයකු වූ වින්සන් අපොන්සු එවක පටන් පැවති සියලුම මැයි දින රැලි සඳහා සහභාගී වීම අනිවාර්ය කටයුත්තක් කරගෙන ඇත.
එවකට පානදුරෙ වෑකඩ ප්‍රදේශයේ තම නැන්දනියගෙ නිවසේ ඉඳිමින් සම සමාජයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කර ඇති ඔහු සෑම මැයි දිනයකදීම රැලිවලට යෑමට ජනතාව පෙළ ගැස්වීම බස් රථ ගෙන්වීම ඇතුළු වැඩ කටයුතු රාශියක් සිදු කර ඇත.
වරෙක 1947 මැයි පළමුවෙනිදා පැවති රැළිය පිළිබඳ ඔහුගේ මතකය අවදි විය.
එදා ගෝල්ෆේස් පිට්ටනියෙ තමයි රැලිය තිබුණේ. විශාල සෙනඟක් හිටියා ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා රතු ධජය ඉහළට එසෙව්වා’ සම සමාජයේ ස්වෙච්ඡා බටයෝ අත මිටමොලවගෙන විප්ලවීය ගීතය ගායනා කළා. එදා තමයි ආණ්ඩුවේ සේවකයින්ගේ වෘත්තිය සමිති හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා මහා වැඩ වර්ජනයකට සූදානම් වන ලෙස කම්කරු පන්තියට ආරාධනා කළේ.
වරෙක සුන්දර සිනහවකින්ද තවත් වරෙක බැරෑරුම් ආකාරයෙන්ද සියවසක ඉතිහාසයේ මැයි දින සුන්දර මතකයන් වින්සන් අපොන්සු මතකයට ගත්තේ ඒ ආකාරයෙනි.
ඔහුගේ සුන්දර මතකයන් පෙළින් පෙළට අපට කියන්නට උත්සාහ කළද ඔහුට එය මහත් වෙහෙසකි. එහෙත් ඔහු මතක ගබඩාවකි.
වින්සන් අපොන්සු වයස අවුරුදු තිස්තුනේදී එනම් 1956 වසරේදී විවාහ දිවියට ඇතුළත් වන අතර ඔහුගේ සහකාරිය වන්නේ බුළුගහපිටිය ගමේ තරුණියකි. ඒ කොට්ඨාශ ආරච්චිගේ ආරියවතී හාමිනේය. මෙම දෙපළට දාව දියණියන් දෙදෙනකු සහ පුතුන් දෙදෙනකු උපත ලබන අතර අද ඔවුන් ඉතා උසස් තැන්වල සිටිමින් තමන්ගේ මවුගේ සහ පියාගේ ඕනෑ එපාකම් පිරිමසන්නේ ඉතා ආදරයෙනි.
තවත් ඔහුගේ යට ගියාව හාරා අවුස්සා ඔහු වෙහෙසනවා වෙනුවට පියාගේ මතකයන් පිළිබඳව’ ඔහුගේ බාල පුතු වන කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු මහතාගෙන් විමසුවෙමු.
තාත්තා හරි නිවුනු පුද්ගලයෙක්. කිසිම දෙයක් දිහා අන්තවාදීව බැලුවෙ නෑ. අපි උදේට ඉස්කෝලෙ යනකොට එයාට වඳිනවා. ඒත් එයා කියන්නේ වඳින්න ඕන නැහැ සමාජයට බරක් නොවී හොඳින් ජීවත් වෙන්න කියලා. තාත්ත පුදුම ධෛර්යයක්’ තියෙන මනුස්සයෙක්. එයා කොළඹ නගර සභාවේ රැකියාව කරන කොට හතර පස් පාරකට වැඩිය සේවය අත්හිටවලා තියෙනවා. සම සමාජ පක්ෂයේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් නිසා සේවය අත්හිටවපු දවසට පහුවදා ඉඳන්ම තාත්තා මොකක් හරි වැඩකට යනවා. අපි පස්සේ කාලෙ තමයි දන්නේ සේවය අත්හිටෙව්වාම එයා සිකුරුටි වැඩ මේසන් වැඩ අත්වැඩ දෙන්න ඒවටත් ගිහිල්ල තියනවා.
මට මතකයි අක්කා කියනවා එතකොට 1980 මහා වැඩවර්ජනයෙදී තාත්තගේ සේවය අත්හිටපු වෙලාවෙ දවස් කීපයක් එයා උදේට ගෙදරින් ගිහිල්ලා තියෙනවා. එයා මුකුත් කියන්නෙ නෑ යනවා විතරයි දවසක් තාත්තා අත ඔතාගෙන යනවලු අක්ක අහලා තියෙනවා ඇයි කියලා. තාත්තා මුකුත් කතා කරලා නැහැ. පස්සේ තාත්තාගේ බෑග් එක බලල තියනව බෑග් එකේ ගස් කපන මන්නයක් අක්ක බලනකොට එයා ගස් කපලා අතේ කරගැට. ඒ කරගැට හොඳටම තුවාල වෙලා ඒකයි අත ඔතාගෙන යන්නේ. ඒත් එයා ඒවා ගැන දුක් උනේ’ නැහැ.
පක්ෂයේ අනාගතය ගැන හැමදාම හිතුවා.’ හැමදාම ජනතාව ගැන තමයි හිතුවේ. අපි කාත් එක්ක හරි ප්‍රශ්නයක පැටළුණොත් එයා කවදාවත් අපේ පැත්තෙ ගත්තේ නෑ. එයා ඉස්සර මැයි දිනය එනකොට පාපැදියෙන් කිලෝමීටර හය හත දුර ඇවිදලා මිනිස්සුන්ට මතක් කරනවා හෙට මැයි දිනේ’ බස් එක එන්නෙ කොතනටද කීයට එන්න ඕනෙද කියලා. කිලෝමීටර කීයක් ඇවිද්දත් එයාට ඒක අමාරුවක් නෑ. සතුටින් තමයි ඒක කරේ. මම හිතන්නේ වයස අවුරුදු අනූපහ විතර වෙනකන් එයා පාපැදියෙන් ගියා. දේශපාලන වැඩවලට පාපැදියෙන් යෑම නැවතුනේ පාපැදිය අනතුරකට ලක්වීම නිසා. ඊට පස්සේ මම මැයි දිනවලට අපේ වාහන වලින් එක්කගෙන යනවා. අදටත් සම සමාජ පත්තරේ ගෙදරට එනව. එයා ඒක අකුරක් නෑර කියවලා ඉවරවෙලා පානදුර නගර සභා පුස්තකාලයට ගිහින් දෙන්න තමයි නිතරම කටයුතු කරන්නේ. එයා බයිසිකලේ තියෙනකොට ඒකෙන් ගිහිල්ලා තමයි පත්තරේ දුන්නේ. දැන් ඒකට අපිව සම්බන්ධ කරගන්නවා. අපි හිටියේ නැත්නම් ත්රීවිලර් එකක් හරි ගෙන්න ගෙන ගිහින් දීල එනවා.
වසර හැට හැත්තෑවක දේශපාලන ගමන් මගක් හිමි වර්තමාන සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කර සිටියේ අපොන්සු සහෝදරයා කියන්නේ සිය ජීවිත කාලෙම පක්ෂය වෙනුවෙන් කැප කරපු කෙනෙක්. එයා රටට ජනතාවට ආදරේ පුද්ගලයෙක්. මම හිතන්නේ පානදුර ප්‍රදේශයේම සම සමාජ පාක්ෂිකයන් පක්ෂය වටා පෙළගස්වන්න එතුමා මහත් වෙහෙසක් දැරුවා. දැන් වයසට ගියත් එතුමා අපිට ශක්තියක් වෙනවා. මම හිතන්නේ එතුමා වගේ අය පක්ෂෙට හිටියොත් අනිවාර්යයෙන් සම සමාජ පක්ෂය ජය ගන්නවා. වසර සියයක් පිරෙන තම ජීවින ගමන් මගේ වසර හැත්ත පහකට එහා වම් ඉවුරේ දේශපාලනයේ හිඳිමින් ජාති කුල මල වලින් තොර ලොවක් සැදීම සඳහා අදත් හෙටත් සිහින මවන මේ සොඳුරු මිනිසා මෙරට පීඩිත පන්තිය හා වැඩ කරන ජනතාව’ වෙනුවෙන් පෙනී හිඳිමින් ඔවුන්ගේ සුඛවිහරණය සඳහා තම ලේ දහඩිය වගුරමින් සිදු කළ ඒ මහා අපරිමිත කැප කිරීම් වලට මුළු මහත් ජනතාවගේම ආශිර්වාදය ඔහුට හිමි විය යුත්තේමය.
ඔහුගේ දේශපාලන කැපවීම පිළිබඳ ඔහුගේ අනූවැනි වියේදී ඔහුම ලියූ ලිපියක මෙසේ සඳහන්ව තිබුණි.
“මට දැන් අවුරුදු අනූවකි. පුරා වසර 65 ක් මා මැයි දිනේට පිරිස් සමග සහභාගි වී ඇත්තෙමි. සම සමාජයෙන් මා ලබා ගත්තේ සහෝදරත්වය පමණි. මා බලාපොරොත්තු වූ සමාජවාදී රටක් මට දක්නට’ නොලැබෙන බව සහතිකය. මම ඒ ගැන කම්පා නොවෙමි. මට අදත් ඕනෑකම තියෙන්නේ සම සමාජ ධර්මය ක්‍රියාත්මක කිරීමට සම සමාජ පක්ෂය ක්‍රියාත්මක වීම දැකීමය. මා උගත් ආකාරයට සමාජවාදී ප්රජාතන්ත්රයකින් විනා වෙන කිසිම මගකින් කම්කරු පන්තියට දුගී ජනතාවට සෙතක් වන්නේ නැත. එහෙත් අද එය සිහිනයක් පමණි. එහෙත් මම හෙටත් සමාජවාදියෙක්මි. ලංකා සම සමාජ පක්ෂයේ පාක්ෂිකයෙක් මි. අවංකවම මා අද කල්පනා කරන්නේ මා නැතිවීමෙන් පසුව පානදුරේ සම සමාජ පත්තරේවත් විකුණන්නේ කවුද යන්නයි. අවංක සම සමාජය වෙනුවෙන් කැපවෙන පුද්ගලයෙකු මා හැර වෙනත් පේනතෙක් මානයක නැත.
“සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්. මේ තලයේ අසරණුන් පිබිදියව්..”
| නයනදුල සෙන්දනායක (දිවයින)