පශ්චාත් සීමාවාසික පත්වීම ලබානොදීමෙන් පර්යන්ත රෝහල් කඩාවැටීමේ අවදානමක - GMOA

පශ්චාත් සීමාවාසික පත්වීම ලබානොදීමෙන් පර්යන්ත රෝහල් කඩාවැටීමේ අවදානමක - GMOA

මෙරට සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන නොවීම හා සීමාවාසික පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව පශ්චාත් සීමාවාසික පත්වීම් ලබානොදීම හරහා පර්යන්තයේ රෝහල් බිඳවැටීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවිමක් කරනවා.

එම නිවේදනයට අනුව, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් පවත්වා ගැනීම වෙනුවෙන් තීරණාත්මක සාධකය වනුයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.

එහෙත් වෛද්‍යවරුන් විදෙස් ගතවීම ඇතුලු කරුණු ගණනාවක් හේතුවෙන් උද්ගත වී ඇති වෛද්‍යවරුන්ගේ හිඟය නිසා පර්යන්තයේ රෝහල් ගණනාවක රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීම දැඩි අභියෝගයක් බවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම පෙන්වා දී ඇත.

මෙම තත්ත්වය සමනය කර ගැනීමට නම් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මෙන්ම වෛද්‍යවරුන් අවශ්‍යතාවය අනුව සුදුසු පරිදි ස්ථානගත කිරීමද සිදු කළ යුතුය. එහිදී සීමාවාසික පුහුණුව අවසන් කරන ලද නවක වෛද්‍යවරුන්ට හැකි ඉක්මනින් පත්වීම් ලබාදී සේවා අවශ්‍යතාවය අනුව ඔවුන් ස්ථානගත කිරීම මූලික අවශ්‍යතාවයකි.

එහෙත් මේ වන විට වෛද්‍යවරුන් 1390 ක කණ්ඩායමක් සිය සීමාවාසික පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව පශ්චාත් සීමාවාසික පත්වීම ලැබෙන තුරු මාස 08 ට වැඩි කාලයක් බලා සිටීමට සිදු වී ඇත. රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීමේ අර්බුදයට මුහුණ දී සිටින රෝහල් ගණනාවකට විසඳුම් ලබා දිය හැකි මෙම වෛද්‍යවරුන් කණ්ඩායමට, පත්වීම් ලබාදීම දිනෙන් දින ප්‍රමාද වීම සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදීත් අදාළ වගකිවයුතු පාර්ශව ක්‍රියාත්මක නොවීම අවාසනාවන්ත තත්ත්වයකි.

මීට හේතුව බවට පත් වී ඇත්තේ මෙරට සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍ය සංඛ්‍යාවේ පුරප්පාඩු ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පවසමින් මෙම වෛද්‍ය කණ්ඩායම අනුයුක්ත කිරීමට අවශ්‍ය අවසරය ලබාදීම කළමනාකරණ සේවා කොමිෂන් සභාව මඟින් අත්තනෝමතික ලෙස දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටීමයි. මේ හරහා ගැටලු සහ අර්බුද ගණනාවක් මතු වී ඇත.

මෙරට වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වසර 06 කින් යාවත්කාලීන වී නැත. මෙරට ජනගහනය ඉහල යාම මෙන්ම පසුගිය කාලයේ සිදු වූ සෞඛ්‍ය පද්ධතියේ පුලුල් වීමට සාපේක්ෂව වෛද්‍යවරුන්ගේ අනුමත සංඛ්‍යාව ඉහල යා යුතු වුවද, කළමනාකරණ සේවා කොමිසම හරහා විවිධ හේතු දක්වමින් එය සිදු නොවීම හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය තුල බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇත.

රජය මගින් විවිධ ප්‍රතිපාදන යටතේ නව රෝහල් සහ ප්‍රතිකාර ඒකක පිහිටුවීමට සහ සෞඛ්‍ය සේවාවන් පුලුල් කිරීමට කටයුතු කලද,මෙම තත්ත්වය යටතේ ඒවාට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම සිදුකළ නොහැකි වී ඇත. එසේ විවෘත කරන ලද ඇතැම් රෝහල් වල නවීන වෛද්‍ය උපකරණ පවා කල් ඉකුත් වීමේ තත්ත්වයක්ද මේ වන විට මතුවී ඇත.

  • කලුතර, ගල්ලැස්ස නව මාතෘ රෝහල

(අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යව - 72/ අනුමැතිය ලැබි ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව - 25)

  • පේදුරුතුඩුව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය - වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත
  • කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ නව මාතෘ ප්‍රතිකාර ඒකකය - වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත
  • මාන්කුලම් මූලික රෝහලේ පුනරුත්ථාපන ඒකකය - වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත
  • උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය - වෛද්‍යවරුන් අනුයුක්ත කර නැත
  • ජාතික රෝහලේ බාහිර රෝගී අංශය

එමෙන්ම රට තුළ පවතින ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යමින් පවතින බව දන්නා කරුණකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව පසුගිය වසර 02 තුළදී පමණක් පද්ධතියෙන් ඉවත්ව ගිය ශ්‍රේණි වෛද්‍ය  නිලධාරීන්ගේ සංඛ්‍යාව 1500 කට ආසන්නය.

එම වෛද්‍යවරුන් ප්‍රමාණය පුරප්පාඩු ලෙස ප්‍රකාශයට පත් කිරීමද අදාළ බලධාරීන් විසින් ප්‍රමාද කිරීම හේතුවෙන්, එම පුරප්පාඩු පිරවීමට ද මෙතෙක් හැකියාවක් ලැබී නොමැත.

මෙරට තුළ වෛද්‍යවරුන් සඳහා පුරප්පාඩු නොමැති යැයි කළමනාකරණ සේවා කොමිෂන් සභාව පවසන්නේ මෙවන් පසුබිමක් යටතේ වීම ද විමතියට කරුණකි. අදාල ආයතන විසින් සටහන් කර ඇති දත්ත හා ඉලක්කම් සහ භූමියේ යථාර්ථය අතර දැවැන්ත පරතරයක් ඇති බව වගකිවයුතු කණ්ඩායම් දැනුවත්ව නැතැයි සිතීම කිසිසේත් පිළිගත නොහැකි කරුණකි.

රට තුළ වෛද්‍යවරුන් බිහිකිරීම ඉහළ නැංවිය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කර ඇත. නව වෛද්‍යවරුන් බිහිකිරීම කෙසේ වුවත්, රට තුළ සිටින වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමට ද නොහැකි තත්ත්වයක් මේ වන විට මතුවී ඇත.

මෙහි බරපතලම කරුණ වනුයේ මෙලෙස පත්වීම් ලබාදීම ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇති කළමනාකරණ සේවා කොමිසම යනු ජනාධිපතිවරයා යටතේම පවතින ආයතනයක් වීමයි.

මෙරට සෞඛ්‍ය සේවාව සහ වෛද්‍ය අධ්‍යාපනය පුලුල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාත්මක කරමින් සිටියදී, ඊට අවශ්‍ය මානව සම්පත ලබාදීම අවහිර කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයා යටතේම ඇති ආයතනයක් වීම දැඩි අවධානය යොමු විය යුතු කරුණකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය තොරතුරු, පැහැදිලි කිරීම් සහ සාධාරණීකරණයන් දිගින් දිගටම ලබාදී තිබියදීත්, නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සහ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කළමනාකරණ සේවා කොමිෂන් සභාවේ අත්තනෝමතික ක්‍රියාමාර්ග නිවැරදි කිරීමට ගරු ජනාධිපතිවරයා වහාම මැදිහත් විය යුතු බව අපි විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇත.

කළමනාකරණ සේවා කොමිසමේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන්  මෙරට පර්යන්ත රෝහල් පද්ධතිය මුහුණ පා ඇති අර්බුදය ඉක්මවා එය ඛේදවාචකයක් දක්වා ගමන් කරමින් පවතී. ඒ හේතුවෙන් නුදුරු අනාගතයේදීම මෙරට පර්යන්ත රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම වැසී යාම වැළැක්විය නොහැකි වනු ඇත.

වෛද්‍ය හිඟය හේතුවෙන් රට පුරා රෝහල් සහ විශේෂඥ වෛද්‍ය ඒකක 400 කට අධික ප්‍රමාණයක් අඩපණ වීමේ අවදානමක් ඇති බවත්, එම ගැටලු සඳහා සාධනීය විසඳුමක් නොලැබෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස එම රෝහල් සහ ඒකක වසා දැමීමට සිදුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව මීට පෙර තීරණය කර ඇත.

දැනට උද්ගතව ඇති ගැටලුව විසඳීමට වගකිවයුත්තන් අපොහොසත් වන්නේ නම් වෛද්‍යවරුන් නොමැතිව අඩපණ වී ඇති පර්යන්ත රෝහල් වසා දැමීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර තීරණය කිරීමට සිදුවනු ඇත.

එවන් තත්ත්වයකදී රෝගී සත්කාර සේවාවන් බිඳ වැටී අවදානම‌ට ලක්වෙන ජන ජීවිත පිළිබඳ සම්පූර්ණ වගකීම කළමනාකරණ සේවා කොමිෂන් සභාව සහ එහි නිලධාරීන් භාරගත යුතු බව ද අවධාරණය කරමු.