කටුනායක NEXT - නෙක්ස්ට් කර්මාන්ත  ශාලාවට කවුද මොනවද කෙරුවේ? - FTZ Union

next-garment-factory

විවෘත පැහැදිළි කිරීමක් සමග ඇරයුමකි.

කටුනායක “නෙක්ස්ට්” කර්මාන්ත  ශාලාවට කවුද මොනවද කෙරුවේ?

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි “නෙකස්ට් මැනුෆැක්චරීන් ප්‍රයිවට් ලිමිටඩ්” කර්මාන්තශාලාව වසා දැමුවේ යැයි පසුගිය සති කිහිපය තුළ සමාජයේ නොයෙකුත් කතා බහ ඇති විය. ජන මාධ්‍යයන්හිද ඒ සම්බන්ධ නොයෙකුත් පුවත් පළ විය. කතා බහ වැඩිවන තරමට, ඇත්ත කතාව කුමක්දැයි තේරුම් ගැනීමද අපහසු ය. එනිසා එම කර්මාන්තශාලාවේ සේවකයින් සාමාජිකත්වය දරණ නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ලෙස අප විසින් ඒ සම්බන්ධ කතාව පැහැදිළි කිරීමේ අවශ්‍යතාවයක් ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

මහා බි්‍රතාන්‍ය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර කීර්තියක් ලැබූ “නෙක්ස්ට්” සන්නාමය හිමි මේ සමාගම 1979 වසරේ සිට ඔවුන්ගේම කර්මාන්තශාලාවක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ආරම්භ කර නිෂ්පාදන කටයුතු වල නියැළුණි. එහි සාර්ථකත්වය මත ඔවුහු නවගත්තේගම සහ ආඬිගම තවත් කර්මාන්තශාලා දෙකක් ආරම්භ කළහ.

“නෙක්ස්ට්” කර්මාන්තශාලාව සතු විශේෂත්වයක් ඇත. සන්නාම සමාගම් නිෂ්පාදන කටයුතු නොකරති. එය ගෝලීය සැපයුම්දාම ක්‍රියාවලියට භාර කෙරෙන වගකීමකි. ඒ අනුව, සැපයුම්කරුවන් ලෙස නිෂ්පාදන කටයුතු කරන සමාගම් නිෂ්පාදන ඇණවුම් භාර ගනිති.

අප කටුනායක නේක්ස්ට් කර්මාන්තශාලාව සමග ගනුදෙනු ආරම්භ කරන්නේ කොවිඩ්-19 වසංගතය ලංකාවට පැමිණි පසු නෙක්ස්ට් සේවක සේවිකාවන්ට 2021 වසරේ අප්‍රේල් මස ගෙවනු ලබන ආර්ථික ප්‍රසාද දීමනාව අත්හිටුවන්නට කළමණාකාරීත්වය තීරණය කිරීමත් සමගය. එහි සේවක සේවිකාවන් අතර පැන නැගුණු දැඩි නොසන්සුන්තාව මර්දනය කිරීම සඳහා කළමණාකාරීත්වය විසින් මැර කණ්ඩායම් යොදා ගන්නා බවට බරපතල චෝදනා එල්ල විය. මැර තර්ජනයෙන් ආරක්‍ෂාවී ප්‍රසාද දීමනා ආරවුල සමථයකට පත්කර ගැනීමට එම සේවක සේවිකාවන් අප සංගමයේ කටුනායක කලාප කාර්යාලයට පැමිණයහ. අප පළමුවරට නේක්ස්ට් කළමණාකාරීත්වය සමග කළ ගනුදෙනුව වූයේ ප්‍රසාද දීමනා ආරවුල සාමකාමීව සමථයකට පත් කිරීමය.

ඉන්පසුව එම සේවක සේවිකාවෝ අප සංගමයේ සාමාජිකත්වය ලබා ගත්හ. අනතුරුව කළමණාකාරීත්වය අප වෘත්තීය සමිතිය සමග සාකච්ඡා ආරම්භ කළේය. 2021 වසරේ ඔක්තෝබර් මස 22 වන දින සමාගම අප සමග සාමූහිකව කේවල් කිරීමේ ගිවිසුම අත්සන් කරන ලද්දේ එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසය. වාර්ෂික වැටුප් වැඩි කිරීම් ඇතුළු අනෙකුත් සේවා තත්ත්වයන් හා පහසුකම් පිළිබඳ පොදු එකඟතාවන්ට පැමිණියේ එම ගිවිසුමට අනුව ගොඩනගා ගත් කාර්මික සුහදත්වය පදනම් කර ගනිමින් ය. එබැවින් නේක්ස්ට් කර්මාන්තශාලාව ඉලක්ක කෙරුණු වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට අප සංගමයට කිසිදු අවශ්‍යතාවක් හෝ හේතුවක් නොවුණි.

ඒ කාර්මික සුහදත්වය කෙතරම් තහවුරුව තිබුණිද යත් අප සංගමයේ සාමාජිකයින් නොවන සුපරීක්‍ෂකවරුන් කිහිප දෙනෙකු විසින් ඔවුන්ගේ වැටුප් වර්ධක පිළිබඳව 2022 වසරේ කළමනාකාරීත්වය සමග ආරවුලක් ඇති කරගත්හ. ඔවුන් සේවක පිරිසක් උසිගන්වා වැඩ නැවැත්වීමක් සිදු කළ විට, එය සමථයකට පත්කර ගැනීමට කළමණාකාරීත්වය අපෙන් කරන ලද ඉල්ලීම අනුව අප සංගමය අදාල පිරිස් සමග සාකච්ඡා කර එම ආරවුල සමථයකට පත් කළහ. අප සංගමය කළ එම මැදිහත්වීම සමාගම විසින් ඇගයීමකටද ලක් කර ඇත.

නැවත වරක් 2023 වසරේදී නේක්ස්ට් සමාගම සමග සාමූහික ගිවිසුම අලුත් කෙරුණේ එවැනි සුහද පසුබිමකය. තැනින් තැන මතුවූ ආරවුල් සියල්ල සාකච්ඡා මගින් විසඳා ගැනීමට අප දෙපාර්ශවය සමත්වූ අතර, 2025 වසරේ වාර්ෂික වැටුප් වැඩිකිරීම ලෙස රු. 4,225/= ක වැටුප් වැඩි කිරීමකටද දෙපාර්ශවය එකඟ වූයේ සුපුරුදු සාකච්ඡා මගින් මිස බලහත්කාරයක් හමුවේ නොවේ.

එවැනි පසුබිමක, පසුගිය අප්‍රේල් මාසයේ අග භාගයේදී කටුනායක කර්මාන්තශාලාවේ සමහර අංශවල යන්ත්‍ර ඉවත් කිරීමට සහ ඒවායේ සේවක සේවිකාවන් වෙනත් අංශවල සේවයේ යෙදවීමට කළමණාකාරීත්වය කටයුතු කළේය. ඒ පිළිබඳව විමසමින් 2025 අප්‍රේල් මස 24 වන දින කළමණාකාර අධක්‍ෂ වෙත අපි ලිපියක් යොමු කළෙමු. එයට පිළිතුරු වශයෙන් සමාගම දැන්වූයේ එය විශේෂ තත්ත්වයක් නොවන බවය. මෙළෙස යන්ත්‍ර ඉවත් කිරීම සහ සේවකයින් වෙනත් අංශවල සේවයේ යෙදවීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බවය.

නෙක්ස්ට් ජාත්‍යන්තර කර්මාන්ත සමූහයේ සමූහ කළමණාකාර අධක්‍ෂ සයිමන් ෆින්ච් ලංකාවට පැමිණෙන බැවින් ඒ මහතාට අප සංගමයේ ප්‍රධාන නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දන්වා තිබූණි. එම සාකච්ඡාව 2025 මැයි මස 19 වන දින සවස 5.00 ට කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි වන ඔවුන්ගේ මූලස්ථානයේදී පැවැත්වීමට නියම විය.

ඒ අනුව අප සංගමයේ නියෝජිතයින් එදින සාකච්ඡාවට සවස 5.00 ට ගිය නමුත් සයිමන් ෆින්ච් මහතා ඇතුළු නියෝජිතයින් පැමිණියේ ප්‍රමාදවය. එසේ පැමිණි ඔවුන් කියූවේ ඔවුනට කණගාටුදායක නිවේදනයක් කිරීමට ඇති බවය. කටුනායක නිදහස් වෙළෙඳ කාලපයේ නිෂ්පාදන වියදම අධික බැවින් එහි පිහිටි ඔවුන්ගේ කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කළ බවය. ඒ වන විටත් එදින සවස 5.00 ට කර්මාන්ත ශාලාව සීල් තබා වසා දමා ඇති බව අපට දැන ගන්නට ලැබුණි. සමාගමේ මෙම තීරණය සහ පියවර නීති විරෝධී පමණක් නොව සමාගම සහ අප සංගමය අතර අත්සන් තබා ඇති සාමූහික ගිවිසුමේ වගන්ති උල්ලංඝණය කිරීමක් බවද පැහැදිළි කර දුන් අපි, සමාගමේ එම තීරණයට විරෝධය පළකර සාකච්ඡාවෙන් ඉවත්ව පැමිණියෙමු.

නෙක්ස්ට් කර්මාන්තශාලාව වසා දැමූයේ කවුරුන්ද යන්න දැන් පැහැදිළි විය යුතුය. කටුනායක නෙක්ස්ට් කර්මාන්තශාලාව වසා දමන්නට තීරණය කරන ලද්දේ එම සමාගමේ ලොකු ලොක්කන්ය. මේ සම්බන්‍ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ එම කර්මාන්තශාලාව වසා දැමීමට පෙර කම්කරු කොමසාරිස්වරයාට හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හෝ කිසිදු දැනුම්දීමක් කර නොමැති බවය. මේ බව නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් ද තහවුරු කරන ලදී.

කටුනායක නෙක්ස්ට් කර්මාන්තශාලාව වසා දමා ඇතැයි මාධ්‍ය මගින් ප්‍රකාශ කළ ද සමාගම 2025 මැයි මස 19 වන දින සේවකයින්ට එවන ලද වට්ස්ඇප් පණිවිඩයේ සඳහන් කර ඇත්තේ සේවකයින් 1,416 ගේ සේවය අවසන් කිරීමට තීරණය කර ඇති බවත්, ඉතිරි සේවකයින් කර්මාන්ත ශාලාවේ සිරිත් පරිදි සේවයේ යෙදෙන බවත්ය. ඒ අනුව නෙක්ස්ට් කර්මාන්ත ශාලාව වසා දමා නැත.

සමාගම විසින් එම සේවකයින්ට දන්වා ඇත්තේ නීතියට අනුව සේවකයින්ට හිමිවිය යුතු වන්දි මුදල් ගෙවන බවත් එය භාර ගන්නේ නම්, ඊට අමතරව, මාසයක වැටුපක් ලබාදෙන බවත් වැඩි සේවා කාලයක් ඇති සේවකයින්ට ඊට වැඩි මුදලක් ලබා දෙන බවත්ය. මේ සම්බන්‍ධයෙන් මැයි මස 21 වන දින නියෝජ්‍ය කම්කරු අමාත්‍යවරයා සමග අප කළ සාකච්ඡාවේදී ඊට සහභාගී වූ කම්කරු කොමසාරිස් ජනරාල්වරිය දැන්වූයේ නෙකස්ට් මැනුෆැක්චරීන් සමාගම අදාල සේවකයින්ගේ සේවය අවසන් කිරීමට අවසර ඉල්ලා 1971 අංක 45 දරණ සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත අනුව 2025 මැයි මස 20 වන දින කම්කරු කොමසාරිස්වරයාට ඉල්ලුම්පතක් ඉදිරිපත්කර ඇති බවයි. එය අදාල සේවකයින්ට දැනුම්දීමට සමාගම නීත්‍යානුකූලව බැඳී ඇත. එහෙත් සේවකයින්ට ඒ පිළිබඳ කිසිදු දැනුම් දීමක් කර නැත. එවගේම, මෙවැනි ඉල්ලුම්පතක් ලැබුණු දින සිට දින තුනක් ඇතුළත අදාල සේවකයින්ට දැනුම් දීමට කම්කරු කොමසාරිස්වරයාද නීතියෙන් වග වන්නේය. එයද සිදුව නැත. ඒ වෙනුවට 2025 මැයි මස 20 වන දින ලැබුණු ඉල්ලුම්පත සම්බන්‍ධයෙන් වූ පරීක්‍ෂණයක්, ඉන් දින 10 කට පසු 2025 මැයි මස 30 වන දිනට යොදා තිබූ අතර, ඒ අතරතුර කළමනාකාරීත්වය විසින් විවිධ ප්‍රචාර යවමින් සමාගම තීන්දු කළ වන්දිය ලබා ගැනීමට සේවකයින්ට බල කෙරුණි.

එපමණක්ම නොවේ. සේවකයින් කම්කරු කොමසාරිස්වරයාගේ සරණ පැතුවහොත් සමාගම අමතරව ලබාදෙන තුටු දීමනාව අහිමි කරන බවට ද වට්ස්ඇප් මගින් තර්ජනය කර තිබුණි. කම්කරු කොමසාරිස්වරයාගේ නීත්‍යානුකූල අවසරය ලැබීමට පෙර, සමාගමේ නියමය මත සේවකයින් සේවයෙන් ඉල්ලා අස්වන බවට ලිපි ලබා ගෙන වන්දි මුදල් සම්බන්ධයෙන් සමාගමට රිසිසේ කටයුතු කිරීමේ කාල අවකාශයක් තිබුණි. මෙවැනි බලපෑම් යටතේ සේවකයින්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගැනීම පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා සමග කරන ලද සාකච්ඡාවලදී අප පැමිණිළි කළ නමුත් කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීවේ, සේවකයින් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වන්නේ නම් ඔවුන්ට මැදිහත් විය නොහැකි බවය.

එය ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීම් නොවන බවට අප කෙතරම් කරුණු ඉදිරිපත් කළද, කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ තීන්දුව වෙනස් නොවුණි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුව වන්දි මුදල් ගෙවීමේ කොන්දේසිය මත සමාගම බහුතරයක් සේවකයින්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන ඇත. ඔවුන්ගේ උත්සාහය වන්නේ සේවය අවසන් කිරීමේ අංශයට සමාගම ඉදිරිපත්කර ඇති ඉල්ලුම් පත්‍රය නිෂ්ඵල ඉල්ලුම්පතක් බවට පත්කිරීම ය. එහෙත් තවමත් ඉල්ලා අස්වීමේ ලිපි භාර නොදුන් නෙක්ස්ට් සේවකයෝ තමන්ට සාධාරණය ඉටුකරන ලෙසට ඉල්ලීම් කරති.

නෙක්ස්ට් සමාගම වසා දැමීමක් යැයි කියමින් ඊට වගකිව යුත්තේ නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය යැයි කතා හදන කණ්ඩායම් කියන්නේ නෙක්ස්ට් කර්මාන්ත ශාලාවේ සේවකයින් අප සමිතියේ සාමාජිකයින් වන බැවින් ඔවුන්ගේ මාසික අවම වැටුප අනෙකුත් ඇඟළුම් කර්මාන්ත ශාලාවල සේවකයින්ගේ වැටුපට වඩා වැඩි බැවින් එම කර්මාන්ත ශාලාව වසා දැමූ බවය. එවැනි පදනම් විරහිත ප්‍රබන්ධ ගෙතීමට හා පැතිරවීමට හවුල්වන මාධ්‍ය ද ඇත. ඉකුත් මැයි 26 වන දින ඉංග්‍රීසි පුවත්පතක් වන “ඩේලි-එෆ්ටී” පුවත්පතේ අප සංගමය නිසා වසා දැමූයේ යැයි කර්මාන්තශාලා නම් කරමින් පළ කළ ලිපියකින් සමිතියේ සම ලේකම් ඇන්ටන් මාකස්ට අපහාස කෙරෙන්නේ යැයි ද ඔහුගේ චරිතය ඝාතනය කෙරෙන්නේ යැයි ද විජය පුවත්පත් සමාගමටත් පුවත් පතේ කර්තෘටත් ලිපියේ රචකයාටත් එරෙහිව කොළඹ දිසා අධිකරණයෙහි නඩුවක් පවරනු ලැබ එය අධිකරණය විසින් පළමු වරට කැඳවනු ලැබූ ඉකුත් ජුනි 09 වන දින, නැවත එවැනි අපහාසාත්මක කිසිවක් පළ නොකකිරීමට අප සංගමයෙන් ඉල්ලා සිටි තාවකාලික වාරණයද ලබා දුන්නේය.

එවැනි සැමගේ තර්කය වන්නේ, වෘත්තීය සමිති පිහිටුවා ගැනීමෙන් සේවක වැටුප් වැඩි වන හෙයින් කර්මාන්ත ශාලා වැසීයන බවය. එනිසා සේවකයින් වෘත්තීය සමිති වලට නොබැඳී, සේව්‍යා විසින් දෙනු ලබන දෙයක් පිළිගෙන රැකියාව බේරා ගත යුතු බවය. වෘත්තීය සමිති පිහිටවූ පමණින් වැටුප් වැඩි වන්නේ නැත. එය සාමුහිකව කේවල්කර, වැටුප් වැඩි කිරීමේ සාධාරණත්වය ඔප්පු කර පැමිණිය යුතු එකඟතාවයකි. ඒ සදහා කළමනාකාරීත්වය දියුණු නූතනවාදී ශිෂ්ට කළමනාකාරීත්වයක්ද විය යුතුය.

අනෙක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ඈ) වගන්තියට අනුව වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීම මූලික මානව අයිතියකි. කම්කරු දෙපාර්තමේන්තුව එය නොසැළකූවත් එය රජය විසින් සහතික කළ යුතු මූලික අයිතියකි. ඒ අයිතිය නෙක්ස්ට් කළමනාකාරීත්වය විසින් සේවකයින්ට ලබා දී තිබුණි. ඒ අනුව කළමනාකාරීත්වය සමග සාකච්ඡා මගින් අප එළැඹි පොදු එකඟතාවයට අනුව, කළමනාකාරීත්වය විසින් සේවක වැටුප් වැඩි කිරීම නෙක්ස්ට් අර්බුදයට හේතුවක් නොවේ.

කම්කරු දෙපාර්තමේන්තුව ද එතරම් උනන්දුවක් නොගන්නා කටුනායක නෙක්ස්ට් අර්බුදය සම්බන්ධයෙන් අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සමග යහපත් සමාජයක් වෙනුවෙන් පෙනී සිටින සියල්ලන් අවධානය යොමු කළ යුත්තේ ආණ්ඩුවෙන් ලබා දෙන බදු විරාම, බදු සහන,  බදු ඉවත් කිරීම් හා වෙනත් වරප්‍රසාද සියල්ල භුක්තිවිඳින ව්‍යාපාරිකයින් මෙලෙස නීතියට පිටුපා තමන්ගේ කොන්දේසිවලට අනුව සේවක රැකියා අහෝසි කිරීම පූර්වාදර්ශයක් නොවන්නට, අපට සාමුහිකව කළ හැක්කේ කුමක්ද යන්න ය. ඒ සඳහා ඔබද, ඔබ සංවිධානයද අප සමග පෙළගැසෙනු ඇතැයි අප සිතන්නෙමු.

ස්තුතියි.

මෙයට  විශ්වාසී

ඇන්ටන් මාකස්

සම ලේකම්

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (FTZ Union)

2025 ජුනි මස 17 වන දින.