පුද්ගලික අංශයේ අයවැය සහන දීමනා අඩුවීම වලක්වන්න - වානිජ හා කාරිම්ක සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි

අයවැය සහන දීමනා පනත් අහෝසියෙන් සේවායෝජකයින්ට සහන ලැබෙන අතර සේවක වැටුප් අඩුවීම සම්බන්ධයෙන් වානිජ හා කාර්මික සේවක සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මෙම තත්ත්වය නිවැරිදි කරන ඉල්ලීමක් කර ඇත.
එම ලිපියෙන් අවධාරණය කර ඇත්තේ,
සේවකයින්ගේ අයවැය සහන දීමනාව අහෝසි කිරීමට ඔබගේ රජය ගෙන ඇති තීරණයට විරුද්ධව අපි මෙම ලිපිය ඉදිරිපත් කරමු. ඔබ දන්නා පරිදි අයවැය සහන දීමනාව යනු 1978 අංක 8 දරන අයවැය සහන දීමනා පනත හරහා 1978 තරම් මුල් භාගයේදී හඳුන්වා දුන් නිශ්චිත දීමනාවකි. අද මෙන්ම 1978 දී ද ආර්ථික අවිනිශ්චිතතාවයේ කාල පරිච්ඡේදයක් විය. ජීවන වියදම ඉහළ යාම කම්කරුවන්ට දරාගත නොහැකි විය. එබැවින් රජය පෞද්ගලික අංශ සේවකයින්ට විශේෂ දීමනාවක් ගෙවීමට මෙම පනත හරහා පියවර ගත්තේය.
ඒ හා සමානව 2005 දී 2005 අංක 36 දරන අයවැය සහන දීමනා පනත හරහා මාසික වැටුපක් ලෙස රුපියල් 20,000 ට අඩු වැටුපක් ලබන සේවකයින්ට රුපියල් 1000/- ක සහන දීමනාවක් ද ඉන්පසු 2016 අංක 4 දරන අයවැය සහන දීමනා පනත හරහා රුපියල් 40,000 ට අඩු වැටුපක් ලබා ගන්නා සේවකයින්ට රුපියල් 2500/- ක සහන දීමනාවක් ද හිමි විය.
මෙම සියලු පනත් සම්මත කිරීමේ අවස්ථාවල දී මෙම දීමනා ගෙවීම් පිළිබදව වෙනම ලේඛනයක් පවත්වා ගැනීමට සහ එම දීමනා වැටුප් ලේඛනයේ වෙන්ව පෙන්විය යුතු යයි හාම්පුතුන්ට නියෝග කරන ලද්දේ, සේවායෝජකයින් කිසිදු දීමනාවක් සේවකයන්ට නොගෙවා එම දීමනාව වැටුපේ අන්තර්ගතව ඇතැයි ප්‍රකාශ කිරීම වැලැක්වීමටය.
‘දක්ෂිණාංශික‘ රජයන් ලෙස වර්ගීකරණය කළ හැකි රජයන් පවා සේවායෝජකයින්ට මෙසේ විශේෂයෙන් උපදෙස් දුන්නේ ඇයි? ඔබ දන්නා පරිදි, වැටුප් නියම කිරීමේදී සේවායෝජකයින් සැමවිටම රාජ්‍ය මැදිහත්වීමට අකමැති වී ඇත. උදාහරණයක් ලෙස 2024 දී වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සැලකිය හැකිය. වතු කම්කරුවන්ගේ අවම වැටුප වැඩි කිරීමට රජය මැදිහත් වූ විට, සේවායෝජකයින් උසාවියට ගොස් ඉහළ වැටුප් ගෙවීම ප්‍රතික්ෂේප කරමින් වතු කම්කරුවන් නැවත අසරණභාවයට පත් කළහ.
ඔබගේ රජය විසින් 2005 සහ 2016 අයවැය සහන දීමනා පනත් අහෝසි කිරීම සඳහා සහ අවම වැටුප සංශෝධනය කිරීමට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් තුන මගින් අවම වැටුප් සංකල්පය සහ සහන දීමනා සංකල්පය ඒකාබද්ධ කිරීම සඳහා සේවායෝජකයින් ඉදිරිපත් කර ඇති යෝජනාවට ඔවුන්ගේ පාර්ශවය ගැනීමකි.
ඔබ දන්නා පරිදි, ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, මෙම වසරේ අවම වැටුප ආසන්න වශයෙන් රු. 60,000/- ක් විය යුතුය. අවම වැටුප රු. 27,000 දක්වා වැඩි කිරීමෙන් සහ ඉන් පසුව වත්මන් ජීවන වියදම පියවා ගැනීම සඳහා අයවැය සහන දීමනා පනත් සංශෝධනය කිරීම මඟින් සේවකයින්ට ගෙවිය යුතු අනිවාරය වැටුපෙන් අඩක්වත් ඵලදායී ලෙස ආවරණය කිරීමට ඉඩකඩ තිබුණි. ඒ වෙනුවට, අපගේ ඡන්දයෙන් බලයට පැමිණි ඔබගේ රජය අපගේ වැටුප් කපා දමමින්, අපගේ පවුල් පෝෂණය කිරීමට අරගල කරන අතරතුර පවා ලාභ උපයන සේවා යෝජකයින් තව තවත් පොහොසත් කිරීමට ඔවුන්ට සහන සපයයි.
එමනිසා අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ:
- 2005 සහ 2016 පනත්වල නියම කර ඇති අයවැය සහන දීමනා ඇතුළත් නොකර අවම වැටුප රු. 27,000 දක්වා වැඩි කරන ලෙසත්
- අවම වැටුප රු. 27,000/- දක්වා වැඩි කිරීමේ දී ඊට වඩා වැටුප් උපයන අයට සහනයක් නොලැබෙන බැවින් අයවැය සහන දීමනා පනතේ උපරිම සීමාව රු. 40000 සිට රු. 70000 දක්වා වැඩි කරන ලෙසත්ය.