ඔමික්‍රෝන් නෙදරන්තය සති 04කට ලොක්ඩවුන් කරයි

ඔමික්‍රෝන් නෙදරන්තය සති 04කට ලොක්ඩවුන් කරයි

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊයේ (20) සිට සති 4කට රට ලොක්ඩවුන් කිරීමට නෙදර්ලන්තය තීරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ ඔමික්‍රෝන්, ඩෙල්ටා ප්‍රභේදයට වඩා සැලකිය යුතු වේගයකින් පැතිර යන අතර සෑම දින එකහමාරත් තුනත් අතර කාලයක් තුළදී ආසාදිත සංඛ්‍යාව දෙගුණ වන බවය.

මේ අතර යුරෝපයේ වැඩි වශයෙන්ම ඔමික්‍රෝන්  කොවිඩ් ප්‍රභේදය ආසාදිතවූ පුද්ගලයින් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එම සංඛ්‍යව 10,000 ඉක්මවයි.

පවතින තත්ත්වය හමුවේ ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් අගනුවර ඔමික්‍රෝන් ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළ යාම ප්‍රධාන සිදුවීමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඊයේ පියවර ගත්තේය.

අගනුවර තත්ත්වය කෙතරම් බරපතළද යත් ඊට මුහුණදීමට පොලිස් නිලධාරීන්, ගිනි නිවන භටයින් සහ සෞඛ්‍ය සේවකයන් හිඟ වනු ඇතැයි තමන් කණස්සල්ලට පත්වී සිටින බව ඔහු සඳහන් කර ඇත.

ගතවූ පැය 24 තුළ එක්සත් රාජධානියෙන් නව කොවිඩ් ආසාදිතයන් 90,000කට වැඩි පිරිසක් හඳුනා ගැනුණ අතර එය පසුගිය සතියට සාපේක්ෂව 67%ක වර්ධනයකි.

විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ දැඩි සීමා පනවා කොවිඩ් නව ව්‍යාප්තිය පාලනයට රජය පියවර නොගතහොත් මේ මස අවසානය වනවිට එරට දෛනික ආසාදිතයන්  600,000 සිට මිලියන 2 දක්වා වර්ධනය විය හැකි බවය.

දෛනික රෝහල්ගතවීම් 3,000 සිට 10,000 දක්වා ඉහළ යාහැකි අතර දිනකට මරණ 600 ත් 6,000ත් අතර සිදුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර ඊයේත් මෙරටින් නව ආසාදිතයින් 695 දෙනෙකු වාර්තා වී තිබුණි.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට අවශ්‍ය තවත් ෆයිසර් එන්නත් 842,000ක තොගයක් අද පෙරවරුවේ මෙරටට රැගෙනවිත් තිබේ.

එමෙන්ම මෙරට පුද්ගලයින්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම තවදුරටත් ක්‍රියාත්මකය.

මේ දක්වා ෆයිසර් එන්නත් මාත්‍රා ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 24 ඉක්මවා තිබෙනවා.

එය 2,430,484ක් බවට වාර්තා වී ඇත.