දිනකට ගෘහණියන් 61ක් සිය දිවි නසාගන්නා රටක්

දිනකට ගෘහණියන් 61ක් සිය දිවි නසාගන්නා රටක්

ඉන්දියාවේ සාමාන්‍යයෙන් දවසක් තුළ ගෘහණියන් 61 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් සිය දිවි නසාගන්නා බව අනාවරණය වී තිබේ.

මේ බව හෙළි වී ඇත්තේ එරට ජාතික අපරාධ වාර්තා කාර්යාංශය ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යාලේඛනවලට අනුවය. මේ අනුව පෙනෙන්නේ දළ වශයෙන් සෑම මිනිත්තු 25කට වරක් ගෘහනියක් සිය දිවි නසා ගන්නා බවය. පසුගිය වසර තුළ ගෘහණියන් 22,372 දෙනෙකු දිවි නසා ගෙන ඇති බව වාර්තා වේ.

2020 වසරේ ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත දිවි නසා ගැනීම් ගණන 153,052ක් වන අතර එයින් සියයට 14.6ක්ම ගෘහණියන්ගේ සිය දිවි නසා ගැනීම්ය. එම වසර තුළ දිවි නසාගෙන ඇති සමස්ත කාන්තාවන්ගෙන් සියයට 50කටත් වඩා ගෘහණියන් බවද හෙළි වී තිබේ.

ඉන්දීය ජාතික අපරාධ වාර්තා කාර්යාංශය සිය දිවි නසා ගැනීම් පිළිබඳ වාර්තා තබා ගැනීමට පටන්ගෙන තිබුණේ 1997 වසරේ සිටය.

එදා පටන් මේ දක්වා සෑම වසරකම 20,000කට වැඩි ගෘහනියන් සංඛ්‍යාවක් මේ ආකාරයෙන් දිවි තොර කරගන්නා බව සඳහන්ව තිබේ. 2009 වසරේ එම සංඛ්‍යාව 25,092ක්ව තිබිණි. මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු ලෙස බොහෝ විශේෂඥයන් පෙන්වා දෙන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ගෙදර දොර වැඩපල අධික වීම, විවාහය සහ පවුල සමග බැඳුණු විවිධ සමාජ සම්මතයන් නිසා පෞද්ගලික නිදහස සීමා වීම සහ නිවෙස්වලටම කොටු වූ ජීවිත ගත කිරීම, අධ්‍යාපනික අවස්ථා අහිමි වීම නිසා අනාගත අපේක්‍ෂාවන් ඉටු කර ගැනීමට නොහැකි වීම වැනි කාරණාය. මෙම තත්ත්වයන් නිසා ගෘහණියන් දැඩි මානසික පීඩනයකට පත් වන බව ඔවුහු පෙන්වා දෙති.

උපුටා ගැනීම -නෙත් නිවුස්