ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව දෙරටෙහිම ආර්ථික සහ සංස්කෘතික ප්‍රවර්ධනය සාධනීයයි - ශ්‍රී ලංකා ඉතාලි තානාපතිණිය

Prof_G-L-Peries

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිණී රීටා ගියුලියානා මැනෙල්ලා මහත්මිය සැප්තැම්බර් මස 2 වනදා විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා හමුවී සුහද සාකාච්ඡාවක නිරතවූ බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මහාචාර්ය පීරිස් මහතා විදේශ අමාත්‍යවරයා ලෙස මෑතකදී පත්කිරීම සම්බන්ධයෙන් තානාපතිතුමිය ඒ මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය. දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ආවරණය කරමින් ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවත්නා ශක්තිමත්, සුහද සහ  අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සබදතාවන් අමාත්‍ය පීරිස් මහතාගේ ඇගයුමට ලක් විය. වෙළඳ සහ ආයෝජන සබඳතා, සංචාරක ව්‍යාපාරය සහ දෙරට ජනයා අතර සෘජු සබඳතා තවදුරටත් ව්‍යාප්ත කරලීමට ඇති විභවය මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව දෙරටෙහිම ආර්ථික සහ සංස්කෘතික ප්‍රවර්ධනය කෙරෙහි දක්වා ඇති සාධනීය දායකත්වය මෙන්ම ක්‍රි.ව. 1 වැනි ශතවර්ශයේ සිට ශ්‍රී ලංකාව සහ රෝමය අතර පැවැති ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ඉතිහාසය විදේශ අමාත්‍යවරයා සිහිපත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ කලාපීය සහ බහුපාර්ශවික සබඳතා සම්බන්ධයෙන් අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා ඉතාලියානු තානාපතිතුමිය දැනුවත් කළ අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙරට අතර සමීප සංවාදය සහ සහයෝගිතාව අඛණ්ඩව පවත්වා ගෙන යාමට එකඟ විය. විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගි විය.