ශ්‍රී ලංකාවේ තත්වය ගැන රටවල් රැසක් අවදානයෙන්

ශ්‍රී ලංකාවේ තත්වය ගැන රටවල් රැසක් අවදානයෙන්

ශ්‍රී ලංකාවේ ඊයේ ඇතිවූ තත්වය පිළිබඳව රටවල් සහ ආයතන කිහිපයක් නිල නිවේදන නිකුත් කර තිබේ. එමෙන්ම විදෙස් මාධ්‍ය රැසකද ඒ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබිණ.

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන තත්වයට සාකච්ජාමය විසඳුමක් ලබාගත යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් සඳහන් කර තිබේ. මහ ලේකම්වරයාගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් ඊයේ මේ බව සඳහන් කළේය.

සියලුම පාර්ශ්වකරුවන් එක්වී රටට සහ ජනතාවට අවශ්‍ය විසඳුමක් සොයා ගත යුතු බවයි මහ ලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට අදහස් පළ කරමින් සඳහන් කර ඇත්තේ.

මේ අතර ඊයේ ගෝල්ෆේස්හි පැවති සාමකාමී විරෝධතාවට පහරදීම රටවල් සහ ආයතන රැසක් සිය විරෝධය පළකර තිබිණ.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා සිංගර්, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පවත්නා තත්වය උත්සන්න කරන කලහකාරී හැසිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බවයි.

පවත්නා හදිසි නීති තත්වය යොදා ගනිමින් පොලීසිය සාමකාමී උද්ඝෝෂකයින් ආරක්ෂා කළ යුතුව තිබූ බවයි ඇය පවසන්නේ.