මානව හිමිකම් ගැන සිතා ශ්‍රී ලංකාවේ හමුදා ලොක්කෙකුට තහනමක්

මානව හිමිකම් ගැන සිතා ශ්‍රී ලංකාවේ හමුදා ලොක්කෙකුට තහනමක්
ඇමෙරිකා එක්සත් ජනපදය විසින්  ශ්‍රී ලංකාවේ තවත් හමුදා නිලධාරියෙකුට එරටට ඇතුළුවීම පිළිබඳ සම්බාධක පනවා ඇතැයි ආරංචි මාර්ග පවසයි.
 
ලෝකයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ දූෂණ සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සම්බාධක පැනවූ බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
 
ඒ අනුව හිටපු හමුදා ප්‍රධානියෙකු වන  ප්‍රභාත් බුලත්වත්ත මහතාට සහ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළක්වා ලමින් සම්බාධක පනවා තිබේ.
 
2008 වසරේදී මාධ්‍යවේදී කීත් නොයර් මහතා සම්බන්ධ සිදුවීම මුල්කොට ගනිමින් මෙසේ සම්බාධක පැනවූ බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
 
අදට යෙදී ඇති ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සහ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් එක්සත් ජනපදය ලොව පුරා දූෂණ හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විශේෂ සැලැස්මක් ඉදිරිපත් කර ඇත.
 
අමරිකාවේ මෙම සැලැස්මේ බලාපොරොත්තුව මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වගවීම උදෙසා අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. 
 
මෙම සැලැස්මේ නියෝග ප්‍රකාරව මූල්‍ය සම්බාධක සහ අතිරේක රට කේන්ද්‍ර කරගත් විධායක නියෝග ද හතරක් ඇතුළත් කර ඇත.
 
එමෙන්ම මෙම සැලැස්ම යටතේ විවිධ පුද්ගලයින්ගේ හෝ ආයතනවල දේපළවල ඇති පාලනය සම්බන්ධයෙන් ද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවද දැක්වෙයි.
 
7031(c) වගන්තිය මඟින් විදේශ ආණ්ඩුවල නිලධාරීන් සැලකිය යුතු දූෂණයකට හෝ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝණය කිරීමට සම්බන්ධ වී ඇති බවට විශ්වාසදායක තොරතුරු තිබේ නම්, එම පුද්ගලයන් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළු වීමට නුසුදුසු බව සහ ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව නම් කළ යුතු බව ද එහි දැක්වෙයි.
 
මූලාරම්භයේදී දැක්වූ හමුදා බුද්ධි අංශ නිලධාරියා හා ඔහුගේ පවුලේ අය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කරුණු දක්වා ඇත්තේ මෙම ක්‍රියාමාර්ග වලට අදාළව බැව් අවධාරණය කෙරෙයි.