ගුවන් සේවිකාවන් ලෙස රැකියා දෙන බව පවසා සිදු කළ මගඩියක්!

ගුවන් සේවිකාවන් ලෙස රැකියා දෙන බව පවසා සිදු කළ මගඩියක්!
ගුවන් සේවිකාවන් බඳවා ගන්නා බවට ෆේස්බුක් හි දැන්වීමක් පළ කර ඊට ප්‍රතිචාර දක්වන කාන්තාවන් උපක්‍රමශීලිව රවටමින් නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මඟින් ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කරන බව කියා බිය ගන්වමින් ලිංගික යෝජන‍ා සහ මුදල් ඉල්ලා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ජල මණ්ඩලයේ මනු කියවන්නකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ මහනුවර ඒකකයේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
 
මෙම පුද්ගලයා 26 හැවිරිදි හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර . ඔහුව අත්අඩංගුවට ගෙන කළ පරීක්ෂා කිරීම්වලදී මෙම අපරාධය සඳහා ඔහු විසින්  යොදා ගත් ජංගම දුරකථන 04ක් ද සිම් කාඩ්පත් 13ක් ද සොයා ගැනීමට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ මහනුවර ඒකකයේ නිලධාරීන් සමත්ව ඇත.
 
 එම ජංගම දුරකථනවල ඔහු විසින් රැවටීමට ලක් කර කාන්තාවන් 20 දෙනකුගෙන් ලබා ගත් විවිධ ඉරියව් සහිත නිරුවත් ඡායාරූප විශාල ප්‍රමාණයක් තිබී හමු වී ඇති බව ආරංචි මාර්ග පවසයි.
 
මෙම මනු කියවන්නා විසින් "රුවැත්තියන්ගේ ගැටලු" නමින් මුහුණුපොතේ ගිණුමක් විවෘත කර ඊට ගුවන් සේවිකාවන් බඳවා ගැනීමේ දැන්වීම පළ කර ඇති බව විමර්ශනවලින් අනාවරණය විය. 
 
එම දැන්වීමට අනුව තරුණියන් සහ කාන්තාවන් එහි ඇති වට්ස්ඇප් අංකයට කෙටි පණිවුඩ මඟින් විමසීම් කරන විට කාන්තාවක ලෙස පෙනී සිටිමින් මනු කියවන්නා විසින් ප්‍රතිචාර දක්වන බව සඳහන්ය.
 
මෙම මනු කියවන්නාගේ උගුලට හසු වුණු මාතලේ සහ මහනුවර පදිංචි තරුණියන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙයට මාස 03කට පෙර කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම මනු කියවන්නාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කියැවෙයි.
 
අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීමේදී මනු කියවන්නා පවසා ඇත්තේ වසරක කාලයක් තිස්සේ තමන් මෙම අපරාධය සිදු කරන බවත්, තරුණියන් සහ කාන්තාවන් විශාල පිරිසක් තමාට හසු වී ඇති බවත්ය. 
 
 වෙනත් පුද්ගලයන්ගේ හැඳුනුම්පත් යොදාගෙන ජංගම දුරකථන සිම් කාඩ්පත් මිලට ගනිමින් ඔහු මෙම කටයුත්ත කර ඇති බවද පෙනී ගොස් ඇත. මෙම පුද්ගලයාගේ වංචාවට හසු වූ තරුණ කාන්තාවන් විශාල පිරිසක් ඇතත් ඒ ගැන මෙතෙක් පැමිණිලි කර ඇත්තේ මහනුවර සහ මාතලේ තරුණියන් දෙදෙනා පමණක් බැව් කියැවෙයි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ මෙහයවීමෙන් මහනුවර ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා චතුරි දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.