කොවිඩ් 19 සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින අනවශ්‍ය බිය දුරුකල යුතුයි

කොවිඩ් 19 සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින අනවශ්‍ය බිය දුරුකල යුතුයි

 

 

 කොවිඩ් 19 සම්බන්ධයෙන් ජනතාව තුළ අනවශ්‍ය බියක් පවතින බැවින් රෝගය වැළදුනු පුද්ගලයින් එය සැගවීමට උත්සාහ ගන්නාබවත් කොවිඩ් 19 පාලනය කිරීමේදී එමගින් ගැටළුකාරී තත්වයක් හටගෙන ඇති අතර එම තත්වය මගහරවා ගැනීමට නම් උපායමාර්ගික සැලසුමක් අවශ්‍ය බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කොවිඩ් 19 පිළිබද විශ්ලේෂණ කමිටුව හමුවේ සදහන් කළාය. රාජ්‍ය ඇමතිතුමියගේ ප්‍රධානත්වයෙන් අද (08) සෞඛ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව සදහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යතුමිය,රෝගය වැළදුනු පුද්ගලයින් දෙසද සමාජය විසින් වපර ඇසින් බලමින් ඔවුන් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් එම තත්වය මගහරවා ගැනීම සදහා ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී මතුකළාය. ඒ සදහා මාධ්‍ය මගින් අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකිරීමට කටයුතු කල යුතු බව අවධාරණය කරන ලදි.

දෛනික PCR පරීක්ෂා කිරීමේ ධාරිතාව වැඩිකිරීම කෙරෙහි අවධානය යොමුකල අමාත්‍යවරිය ඒ සදහා පවතින අපහසුතා සම්බන්ධයෙන්ද විමසා බලන ලදි. කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තාවන ප්‍රදේශවල පවතින ගිලන්රථ හිගතාවය පිළිබදවද මෙහිදී අවධානයට ලක්වූ අතර ඒ සදහා රෝගීන් වාර්තා නොවන ප්‍රදේශවල පවතින ගිලන්රථ භාවිතා කිරීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදි. කොවිඩ් රෝගය වැළදී මියගිය අයගේ ආදාහන කටයුතු සිදුකිරීමේදී ආර්ථික අපහසුතා පවතින අයගේ ආදාහන කටයුතු ඔවුන්ගේ ඉල්ලීම මත රජයේ වියදමින් සිදුකිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යවරිය මෙහිදී සදහන් කළාය.

කොළඹ මහනගර සභාබල ප්‍රදේශයේ පැතිරී යන කොවිඩ් 19 පාලනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම, දායකත්වය ලබාදිය යුතු ආකාරය මෙහිදී සාකච්ඡාවූ අතරඉදිරියේ මතුවිය හැකි කොවිඩ් පොකුරු සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය පිළිබදවත්, එළඹෙන උත්සව සමය සදහා සූදානම්විය යුතු ආකාරය පිළිබදවත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවිය.

කොවිඩ් 19 පාලනය කිරීම සදහා කටයුතු කරන ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්විය.