පොළොන්නරුවේ වනජීවි නිලධාරීන් රාජ්‍ය ඇමතිට එරෙහිව විරෝධය

පොළොන්නරුවේ වනජීවි නිලධාරීන් රාජ්‍ය ඇමතිට එරෙහිව විරෝධය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සේවයේ නිරත වනජිවී නිලධාරීන් හා ක්ෂේත්‍ර සහායකවරුන් අද (27) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වී තිබේ.

ඒ, පසුගියදා රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වනජීවී නිලධාරීන්ට බැණ වැදීමේ සිද්ධියට විරෝධය පළකරමිනි.

අද දිනයේ සියලු රාජකාරීවලින් ඉවත් වී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ක්‍රියා කලාපයට තම විරෝධය පළකරන බව පොළොන්නරුව දිස්ත්‍රික් වනජීවි නිලධාරීන් පවසයි.

විරෝධය හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි වනජීවි කාර්යාලවල කටයුතු සිදු නොවන බවත්, පොළොන්නරුවේ පිහිටි ජාතික වන උද්‍යානවල කටයුතු ද නවතා දමා ඇති බවත් අප වාර්තාකරු පවසයි.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරි ගවයින්ට තෘණ ආහාරයට ගැනීම සඳහා ඉඩ ලබාදෙන ලෙස එය ආසන්නයේ පිහිටා ඇති තඹාල හා වෙහෙරගොඩයාය ප්‍රදේශවල ගම්වාසීන් ඉල්ලීමක් කර තිබුණි.

එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා වනජීවි නිලධාරීන්ට බැණ වදිමින් ගම්වාසීන්ගේ ඉල්ලීමට ඉඩදෙන ලෙස බලපෑම් කළ බව වර්ජනයේ නියුතු වනජිවී නිලධාරීන් හා ක්ෂේත්‍ර සහායකවරුන් පවසයි.