නිසි වේලාවට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ක්‍රමවේදයක් කඩිනමින් සකසනවා

නිසි වේලාවට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ක්‍රමවේදයක් කඩිනමින් සකසනවා

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය වෙනුවෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමු වරට  (23) දින රැස් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීවේය.

මාසයක් ඇතුළත විශ්‍රාම ලබා ගන්නා රාජ්‍ය නිලධාරින්ගේ සංඛ්‍යාව පිළිබඳ දත්ත රැස්කර තබා ගන්නා ලෙස කාරක සභාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. විශ්‍රාම වැටුප් අහිමි වීමට බලපාන කාරණා නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේ දී සාකච්ජා විය.

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා නිලධාරින්ගේ සේවය නැවත රාජ්‍ය සේවයට ලබා ගැනීම සම්බන්ධව ද කාරක සභාවේ අවධානය යොමු විය.

කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්  අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් විමසා ඇති බව රාජ්‍ය අමාත්‍ය රියර් අඩ්මිරාල් සරත් වීරසේකර මහතා කාරක සභාවට දැනුම් දුන්නේය. එම මැතිවරණය පවත්වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයට ද, මිශ්‍ර සමානුපාතික ක්‍රමයට ද යන්න පිළිබඳව  අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් විමසා තිබේ. සීමා නිර්ණන කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ක්‍රියා කරන බවත්, ඒ සඳහා 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වෙනම කොමිෂන් සභාවක් පිහිටුවන බවත් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කාරක සභාවේදී පැවසීය.

කොට්ඨාස ක්‍රමයෙන් පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරයන් පත් කිරීම ගැටලු සහගත බව සභාවේ සාකච්ජා වූ අතර, නව මැතිවරණ ක්‍රමය ද සමාලෝචනය කළ යුතු බව එහි මතය විය.  අනවශ්‍ය ලෙස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයන් නඩත්තු කිරීමට සිදුවීම ගැටලුවක් වී තිබේ. පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු කඩිනමින් ඉවත් කිරීමට ක්‍රියා කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. රාජ්‍ය නිලධාරින්ට ද පළාත් පාලන ක්‍රමයට ඇතුළු වීමට අවස්ථාව ලබා දීම සඳහා සාකච්ජා කෙරෙන බව ද අමාත්‍යවරයා කීවේය. පළාත් පාසල්වල පුරප්පාඩු පිරවීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බංඩාර මහතා කාරක සභාවේ දී මතු කළේය. ගුරු පුරප්පාඩු පිරවීමේ දී අදාළ උපධිධාරින් ජීවත්වන ප්‍රදේශයේම පත්වීම් ලබා දෙන්නේ නම් ඵලදායි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය මෙහිදී පැවසුවාය.

සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සාමාජිකත්වය හිමිව තිබීම හේතුවෙන් පත්වීම් අහිමි වූ උපාධිධාරින්ගේ අභියාචානා සලකා බලා අවසන් බවත්, පත්විම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා කාරක සභාව මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය .

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි සහතික පිරිනැමීමේ දී මතුව ඇති ප්‍රමාදය අනෙකුත් උපාධිධාරින් වෙත පත්විම් ලබාදීමට ගැටලුවක් බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය. පසුගිය රජය සමයේ ලබාදුන් උපාධිධාරින් පත්වීම් 14500 ක් ස්ථිර කිරීම සඳහා අවධානය යොමුකර ඇති බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු කඩිනමින් පිරවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කාරක සභාවේ දි පැවසීය. එම ආයතන සඳහා අභ්‍යන්තර විගණකවරුන් බඳවා ගැමීමේ අවශ්‍යතා ද මෙහි දී සාකච්ජා විය. පළාත් පාලන ආයතන 83 ක් අළුතින් පිහිටුවීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබෙන අතර, ඒ සඳහා දිස්ත්‍රීක් කමිටු ද පත්කර තිබෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අනාවරණය විය.

මේ අවස්ථාවට අමාත්‍යවරු සහ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 කට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටීම විශේෂත්වයක් වූහ. රාජ්‍ය නිලධාරිහු පිරිසක් ද කාරක සභාවට එක්ව සිටියහ.

වැඩබිම