අතුරු වැටුප් දීමනාව නොදී ගුරු-විදුහල්පතිවරන් ඇමතිවරයා විසින් රවටන බව චෝදනා

අතුරු වැටුප් දීමනාව නොදී ගුරු-විදුහල්පතිවරන් ඇමතිවරයා විසින් රවටන බව චෝදනා

ගුරු විදුහල්පතිවරුගේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම වැටුප් විෂමතා ගැටලූව විසඳීමට අදාළ අතුරු වැටුප් යෝජනාව කඩදාසි තුළට සීමා නොකොට අදාල අතුරු වැටුප කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක්  නිකුත් කරමින් ඉල්ලා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

1997 වසරේ සිට ගුරු විදුහල්පති සේවාවන්ගේ බරපතල වැටුප් විෂමතාවයක් පවතී. මෙම වැටුප් විෂමතාවය ඉවත් කර නිසි වැටුප් ලබාදීමට බල කරමින් ගුරු විදුහල්පතිවරු වරින් වර විවිධ වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරත විය. 2019 වසරේ සහ 2020 වසරේ ආරම්භයේ දී සියලූ ගුරු විදුහල්පතිවරු අඛණ්ඩව සිදු කරන ලද වෘත්තීය කි‍්‍රයාමාර්ග හමුවේ  ගුරු විදුහල්පති සේවාවල වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අදාළව වැටුප් කොමිසමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද අතුරු වැටුප් යෝජනා කි‍්‍රයාත්ම කිරීම අදාළ කැබිනට් අනුමැතිය හිමි විය.

එසේ තිබියදී වත්මන් රජය බලයට පැමිණි පසු මෙවර අයැවයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබාදෙන බවට ප‍්‍රකාශ කරන ලදී. එහෙත් අයවැය තුළ ඒ සඳහා මුදල් වෙන් කිරීමක් තබා වචනයකදු සඳහන් නොකිරීම තුළ ගුරු විදුහල්පතිවරුගේ බලාපොරොත්තු විනාශ කරන ලදී.

අයවැයෙන් මෙසේ ගුරු විදුහල්පතිවරු රැවටීමට එරෙහිව සියලූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් 2021 අයවැයේ අධ්‍යාපන වැය ශීර්ෂය විවාදයට ගැනෙන 2020 දෙසැම්බර් 1 දින විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම තත්වය තුළ නැවතත් ගුරු විදුහල්පතිවරු රැුවටීම සඳහා වත්මන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කරන ලද්දේ ගුරු විදුහල්පතිවරුන්ට අතුරු වැටුප් දීමනාවක් ලබාදීමට මුදල් වෙන්කර ඇති බවත්, ඒ සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවත්ය.

මෙවර අයැවයෙන් සමස්ත අධ්‍යාපනය සඳහා ම වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 126 කි. එය 2019 වසරේ වෙන් කළ මුදලටත් වඩා අඩු මුදලකි. ගුරු විදුහල්පති වැටුප් විෂමතා අවම කිරීම සඳහා යෝජිත මෙම අතුරු වැටුප් දීමනාව ලබාදීම සඳහා වසරකට රුපියල් බිලියන 60 ක පමණ මුදලක් අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි. එහෙත් අයවැය යෝජනා තුළ ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 60 ප‍්‍රතිපාදනයක් වෙන් කර නැත. මේ තත්වය තුළ අධ්‍යාපන වැය ශීර්ෂය තුළ අමතර රුපියල් බිලියන 60 ක මුදලක් වෙන් නොකර අධ්‍යාපන අමාත්‍යවරයා ප‍්‍රකාශ කළ ආකාරයට මෙම දීමනාව ලබාදෙන්නේ කෙසේ දැයි අපි විමසා සිටිමු.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශය හුදෙක් ගුරු විදුහල්පතිවරු නැවත වරක් රවටා ඔවුන්ගේ විරෝධය සමනය කිරීමේ උත්සාහයක් පමණක් බව ප‍්‍රකාශ කර සිටිමු.

මේ තත්ත්වය තුළ තවදුරටත් මෙවැනි බොරු පොරොන්දුවලට නොරැවටෙන ලෙස ලංකා ගුරු සංගමය සියලූ ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී. එසේම ගුරු විදුහල්පතිවරු තවදුරටත් රැවටීමට ලක් නොකර දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම වැටුප් විෂමතා ගැටලූව විසඳීමට අදාළ අතුරු වැටුප් යෝජනාව කඩදාසි තුළට සීමා නොකොට අදාල අතුරු වැටුප ගුරු විදුහල්පතිවරුන්ට ලබාදීමට කඩිනමින් කටයුතු යොදන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

වැඩබිම