නිරෝධායන නීතියට අදාළ නව චක්‍රලේඛයක් නිකුත්වෙයි

නිරෝධායන නීතියට අදාළ නව චක්‍රලේඛයක් නිකුත්වෙයි

වාහන හා පුද්ගලයින් පරීක්ෂාවේදී මෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස නිවේදනය කරමින්  සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කිරීමට  චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් ලබාදී තිබේ.

එම නිවේදනයට අනුව පොලිස්පතිවරයා පෙන්වා දී ඇත්තේ ඇතැම් පොලිස් නිලධාරීන් මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට පරිභව කිරීම් සිදුකරන දර්ශන මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙන බවත් එබැවින් එම පුද්ගලයින්ගේ ආත්ම ගරුත්වයට කැළලක් වී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්වන බවයි.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මන වන පරිදි පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමේදී එවැනි ක්‍රියා අත්හිටුවන ලෙස පොලිස්පති  චන්දන වික්‍රමරත්න මහතා අදාළ චක්‍රලේඛය මඟින් උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් එවැනි ක්‍රියා වාර්තා වුවහොත් අදාළ නිලධාරීන්ට සහ ස්ථාන භාර නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස්පතිවරයා අදාළ චක්‍රලේඛය මඟින් පෙන්වා දී තිබේ.

මේ අතර ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 793දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නිරෝධායන නීති කඩකරන්නන් සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් සිදුකෙරෙන බවය.