නිරෝධායන නීතියේ මහජන විශ්වාසය ආරක්ෂා කරගැනීම සඳහා  කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි

 නිරෝධායන නීතියේ මහජන විශ්වාසය ආරක්ෂා කරගැනීම සඳහා  කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි

සෞඛ්‍ය සේවාවේ හා නිරෝධායන නීතියේ මහජන විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා අපැහැදිලි තීරණ පිළිබඳව විධිමත් හා කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙසප ඉල්ලා වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2021.07.08 වැනි දින ගුරු වෘත්තීය සමිති හා ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් විසින් මූලික සෞඛ්‍ය අරක්ෂණ පිළිවෙත් රකිමින් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ සිදු කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුරදී පොලිසිය විසින් සෞඛ්‍ය නිර්දේශ වලට පටහැනිව කටයුතු කිරීමේ වරදට අදාල ක්‍රියාකාරිකයන් 31 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත නිදහස් කරනු ලැබීය. ඉන් අනතුරුව පොලීසිය විසින් අදාල ක්‍රියාකාරිකයින් බලහත්කාරයෙන් නිරෝධායනය සඳහා මුලතිව් ගුවන් හමුදා කඳවුරට අනුබද්ධිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය අතර 2021.07.10 දින ඔවුනගේ පීසීආර් නිදර්ශක ලබා ගෙන ඇති අතර එදිනම ඔවුන් ආසාධිත නොවන බවට තහවුරු වී ඇතත් තවදුරටත් කඳවුරු නිරෝධායනයේ රඳවා තබා ඇත.

උක්ත ක්‍රියාන්විතය හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය මහජනතාවගේ සෞඛ්‍ය ප්‍රමුඛ කර ගනිමින් පමණක් ගනු ලබන එකක්මද යන විවාදාත්මක තත්ත්වයක් රටතුල ගොඩනැංවී ඇති අතර “නිරෝධායන අත්අඩංගුව” සහ “නිරෝධායන රැඳවියන්” වැනි වචන සෞඛ්‍ය වචන මාලාවට එක් වෙමින් තිබේ. නමුත් එකී “නිරෝධායන අත්අඩංගුවට” ගැනීම හෝ නිරෝධායනයේ රඳවා තබා ගැනීම සෞඛ්‍ය සේවාවේ තීරණයක්ද, පොලිසියේ තීරණයක්ද එසේත් නොමැතිනම් වෙනත් පාර් ශවයක උවමනාවක්ද යන්න පැහැදිලි නොවේ. තවද එකී තීරණ ගැනීමේදී ලොකු කුඩා සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ලබා දී ඇති අනුබලය වසංගත විද්‍යාවට ආදාලවම ගනු ලැබූ බව තහවුරු කිරීම හෝ එසේ නොමැතිව කිසියම් නිළධාරියෙකු සිය පෞද්ගලික උවමනාව මත සෞඛ්‍යමය තීරණයන් වෙනත් කාර්යයක් සඳහා අනියම්ව යොදවා ගැනීමට ඉඩ හැර ඇත්නම් ඊට සමස්ථ සෞඛ්‍ය සේවාව වග නොකියන බව මහජනතාව වෙත පැහැදිලි කිරීම සඳහා පහත කරුණු පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

  1. උක්ත අත්අඩංගුවට ගැනීම් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට ලියන ලද ලිපියක් පාදක කරගෙන ඇති බව වාර්තා වන අතර එම ලිපියෙහි අභිලාශය වසංගතය පාලනය කිරීමද? එසේ නොමැති නම් වසංගතය මුවාවෙන් උත්ඝෝෂණ  හා විරෝධතා පාලනය කිරීමද? යන්න පිළිබඳවත්, එම ලිපියෙහි අභිලාශය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර තිබෙන්නේද? යන වග
  2. පාර්ලිමේන්තු වටරවුම අසල පැවැති උද්ඝෝෂණයකදී වසංගතය පැතිරීමට ඉවහල් වන අයුරින් කටයුතු සිදු වූයේද? නැද්ද? යන්න වග හා එම කණ්ඩායම් නිරෝධායනය කල යුතුද? නැද්ද? යන්න පිළිබඳව වසංගත විද්‍යානුකූලව තීන්දු ගනු ලැබිය යුත්තේ එම ප්‍රදේශයට අදාල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ප්‍රමුඛ කොට ගනිමින් වන අතර උක්ත කණ්ඩායම බලහත්කාරයෙන් කඳවුරු නිරෝධායනයට යොමු කල යුතු බවත් ඊට අදාල සුදුසුම නිරෝධායන මධ්‍යස්ථානය මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය වන බවත් නිවෙස් නිරෝධායනය වැනි විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කල නොහැකි බවත් අදාල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා විසින් නිර් දේශ  කර තිබෙන්නේද? එසේ නිර් දේශ කර ඇත්නම් එම නිර් දේශයේ අභිලාශය වසංගත පාලනයට පමණක් අදාල වන්නේද? යන වග.
  3. අදාල “නිරෝධායන රැඳවියන්ගේ” පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සාමාන්‍ය නිරෝධායන මධ්‍යස්ථාන වල සිදුවන ක්‍රියාවලියට සමාන අයුරෙන් සිදුවූයේද? එසේ නොමැතිනම් අනෙකුත් මධ්‍යස්ථාන වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ කිසිඳු පීසීආර් පරීක්ෂණයක් සිදු නොකරන තත්ත්වයක් යටතේ මෙකී කණ්ඩායමෙහි පමණක් පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට වෙනත් අභිලාශයක් පැවතියේද? යන්න හා එලෙස සුවිශේෂී ලෙස පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා වසංගතය පාලනය කිරීමේ අභිලාශයෙන්ම පමණක් අදාල සෞඛ්‍ය නිළධාරියා කටයුතු කලේද? යන වග.
  4. අදාල කණ්ඩායමෙහි පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල 2021.07.10 දින නිකුත් වී ඇති අතර එම කණ්ඩායම අසාධිතයන් නොවන බව එම පරීක්ෂණ ප්‍රතිඵල මඟින් තහවුරුව තිබියදී තවදුරටත් ඔවුන්ව කඳවුර තුල රඳවා තබා ගන්නේ සෞඛ්‍යමය උවමනාවක් වෙනුවෙන්ද? යන වග හා අවම වශයෙන් ඔවුන්ව නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට නිර් දේශ නොවන්නේ කිනම් හේතුවක් නිසාද? යන වග.
  5. මෙම ක්‍රියාවලියේදී අඩු වැඩි වශයෙන් පොලිස් නිළධාරීන්ද නිරෝධායන නීති කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උල්ලංඝණය කර ඇති බැවින් ඔවුන් හරහා වසංගතය පැතිරීමට ඇති ඉඩ කඩ පිළිබඳව වසංගත රෝග විද්‍යාව වෙනස් ආකාරයකට ක්‍රියාත්මක කර තිබෙන්නේ කෙසේද? යන වග

උක්ත කරුණු පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදු කර අදාල තොරතුරු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍ය සේවාව පිළිබඳව මහජන විශ්වාසයත් වසංගත පාලනයේදී ඊට අදාල වසංගත විද්‍යාත්මක පිළිගැනීමත් තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බව අප තරයේ විශ්වාස කරමු. එබැවින් සෞඛ්‍ය සේවාව සඳහා රට ඉදිරිපත් කර ඇති ඉහත ලිට්මස් පරීක්ෂාව සිදුකර සෞඛ්‍ය සේවාවේ අනන්‍යතාවය සුරැකීම සඳහා කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර එය ඔබගේ වගකීමක් බවද අවධාරණය කරමු.