ගෝලීය වසංගතයකින් බැට කන ශ්‍රී ලංකාව ජනපීඩක, පාලනයක වසංගතයෙන්ද පීඩා විඳියි

ගෝලීය වසංගතයකින් බැට කන ශ්‍රී ලංකාව ජනපීඩක, පාලනයක වසංගතයෙන්ද පීඩා විඳියි
රාජ්‍ය සම්පත් කොල්ල කමින් සහ විදේශ රටවලට පාවා දෙමින් යන ගමනේ දී තම ගමනට බාධා කරන්නවුන් විනාශ කරගෙන යන සුපුරුදු ආණ්ඩු කරණය මේ මොහොතේ රට තුළ ඉතා හොඳින් දැකිය හැකිය.  එසේම මේ රටේ තරාතිරමකින් තොරව භුක්ති විඳීමට තිබෙන නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය විකුණා ලාභ කඳු ගොඩගහන ව්‍යාපාර බවට පත් කිරීමට ආණ්ඩුව හීන දකිමින් සිටී. එලෙස විකිණීම මිනිස් සංහතියේ විනාශය බව හොඳින් වටහා ගත් මිනිසුන් ඊට එරෙහිව ඓතිහාසික අරගලයක නිරතව සිටිති. සියල්ල විකිණීම හැර වෙන් කිසිදු ආර්ථික න්‍යායක් නොදන්නා තාවකාලික ආණ්ඩු තම ගමනට බාධාකාරී වන්නවුන්  මර්දනයට ලක් කිරීම විවිධ ස්වරූපයන්ගෙන් සිදු කරයි. එයටම උචිත වූ හමුදාවක් පොලීසියක් තිබීම එම මර්දනය තවත් තීව්‍ර කරයි. එහි ප්‍රතිඵලය නම් කලක් අපරාධ රාජ්‍යයක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාව දැන් මර්දනයේ රාජ්‍යක් බවට පත් වීමයි. 
 
ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර නොමැති කල ආණ්ඩු සෑම කලෙකම සිදු කළේ ප්‍රශ්න වලට උත්තර ඉල්ලා හඬක් නගනවුන් භූමියෙන් අතුගා දැමීමය. එසේම ආන්ඩුවේ මිලිටරි යාන්ත්‍රණය යොදවා පහැරගෙන යාමය. පසුගිය සති කිහිපය තුළම එවැනි සිද්ධීන් ගණනාවක් සිදු වූ අතර තවමත් සමහර සටන් සගයන් ආන්ඩුවේ සිර ගෙවල්වලය. 
 
ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ සහෝදරයාව මේ දින වල ආණ්ඩුවේ පොලීසිය විසින් ලුහු බඳින බවට ආරංචි ලැබේ. පඳුරක් පඳුරක් ගානේ චතුර සහෝදරයාව සොයමින් සිටින්නේ අපරාධකාරයෙක් සොයනා ලෙසිනි. ආණ්ඩුවට සහ මේ පොලිස් මහත්තුරුන්ට පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්, මහදවල් මහ බැංකුව කඩපු අය අල්ලා ගැනීමට අසමත්ව ඒ අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට හැර වෘත්තීය  සමිති නායකයන් පසු පස එළවීමට තිබෙන උනන්දුව ලැජ්ජා සහගතය. චතුර වැනි නායකයින් මර්දනය කිරීම වෘත්තීය සමිති ව්‍යාපාරය සහ සටන් කරන බලවේග මර්දනය කිරිමට ගන්නා ඉත්සාහයකි. එම උත්සාහය යනු ආණ්ඩුවේ නොහැකියාවේ විළි වසාගැනීමේ උත්සාහයයි. ජනාධිපතිවරයා සහ පොලිස් ඇමති වීරසේකර එක් කාරණයක් ඉතා හොඳින් මතක තබා ගත යුතුය. යුධ ජයග්‍රහණයේ උපරිම විනෝදය ලබා ගත් මහින්ද රාජපක්ෂටත්, 5/6ක බලය ගත් ජේ. ආර්ලාටත් ගෙදර යන්න සිදු වූ බව මතක තබා ගත යුතුයි. එසේම කම්කරු නායකයින්, ශිෂ්‍ය නායකයින් ලෙයින් යකඩින් මර්දනය කළත් කම්කරු ව්‍යාපාරය සහ ශිෂ්‍ය ව්‍යාපාරය කිසිදා විනාශ කිරීමට ඔළුව උදුම්මා ගත් කිසිදු ජගතෙකුට නොහැකි විය. චතුර සමරසිංහ අත් අඩංගුවට ගැනීමේ උත්සාහය නතර කිරීම ආණ්ඩුවේ ඇඟට ගුණය. මක් නිසාද වසර 100ක් ඉක්මවූ වෘත්තීය සමිතියක නායකයෙක් අත් අඩංගුවට ගැනීම සමස්ථ වෘත්තීය සමිති ව්‍යාපාරයටම බලපාන හෙයිනි. ඊට එරෙහිව පක්ෂ පාට පසෙකලා මේ රටේ වෘත්තීය සමිති පෙළ ගැසීම සිදු වනු ඇත. සහෝදර සහෝදරියනි, මිලිටරි මර්දනයට එරෙහිව පෙළගැසෙමු.
 
කල්ප මධුරංග
ප්‍රධාන ලේකම්

ප්‍රොටෙක්ට් සංගමය