ගෘහ සහ අවිධිමත් අංශයේ  සේවකයින් වහල්භාවයෙන් මුදවාගන්නා වසර කර ගනිමු - කල්ප මධුරංග

kalpa-maduranga

සුබ නව වසරක් හැමෝටම... !

මේ පැතුම ස්ටීරියෝ ටයිප් එකක් වෙන්නෙම අවුරුදු ගාණක් තිස්සේ කියවලත් සුබ එකක්  දිනා ගන්න බැරිවුන ජනතාවකගේ පැතුමක් නිසාම විතරක් නෙවෙයි. වඩා යහපත් ලෝකයක්, සැමට සුබවාදී ලෝකයක් දිනා ගන්නට  ජවය ශක්තිය තමන්ට තිබෙන බව විශ්වාස නැති ජනතාවක් ඉන්න එක.

කම්කරු පංතියේ සහෝදර සහෝදරියනි, මෙවර අපි සැබෑ අධිෂ්ටානයක් ගොඩනගාගමු! නව ලිබරල්වාදයේ අහුමුළුවල සිරවී, අතරමංව එකිනෙකාට වෛර කරමින් කම්කරු අසමගිය වපුරමින් දැන හෝ නොදැන අඩු නරක සොයමින් යන ගමනේ අවුල කියවාගමු.

සැමට සමානව සහෝදරත්වයේ දෑත් දිගු කරමු. ශ්‍රී ලංකාව තව දුරටත් ඔබ අප වැනි මිනිසුන්ට ජිවත් වීමට පවා නිදහසක් අහමි වූ සහ සාධාරණ සමාජයක් වෙනුවෙන් හඬ නැගීම දරාගැනීමට අසමත් රාජ්‍යක් කරා ගමන් කර ඇත. මේ රාජ්‍යයේ ශිෂ්ට පාලකයින් බිහි කර ගැනීමම දැඩි පරිශ්‍රමයක සමුහිකත්වයකින් තොරව කළ නොහැක්කක් වී හමාරය.

රටේ ආර්ථික අර්බුධයන් හමුවේ හෙට දවසේ කම්කරු පන්තියට ඉතිහාසයේ අන්කවරදාකටත් වඩා අන්ත දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වන වසරක් අදින් උදාවනු ඇත. මේ වසරද ඉතිහාසයේම නිර්මිතයක් වන අතර අලුත් ඉරක් සමග ඉබේ පාත් වුන වසරක් නොවන බව අප හැම දනිමු. එම නිසා ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා කම්කරු පන්තියේ සහෝදරත්වයේ ශක්තිය වඩ වඩා තීව්‍ර කරමින් නැගී සිටීමට සුදානම් විය යුතුය.

මේ වසර සටන් කරන වසරක්, කම්කරුවාට යහපත් ජිවිතයක් උදාකරගැනීමට නැගී සිටින වසරක් වෙනුවෙන් ඔබ සැමට සුබ පතමි.

ගෘහ සේවක සහ අවිධිමත් අංශයේ සහෝදර සහෝදරියනි. මේ වසර ඔබ වසර 150කට ආසන්න කාලයක් සිදු කළ සේවය වහල්භාවයෙන් මුදවාගන්නා වසර කර ගනිමු.

කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමට පෙලගැසෙමු! සාමූහික ශක්තිය පසෙකලා ලබා ගත හැකි ජයග්‍රහණයක් නැත. එක්ව ජය ගනිමු! සැමට සාමුහිකත්වයේ නව සුබ නව වසරක්! 

කල්ප මධුරංග, ප්‍රධාන ලේකම්, ප්‍රොටෙක්ට් සංගමය