සංශෝධිත කම්කරු සේවක වන්දි ආඥා පනත සූදානම්

  සංශෝධිත කම්කරු සේවක වන්දි ආඥා පනත සූදානම්
කම්කරු සේවක වන්දි ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති අතර, අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරිමට නියමිතය.
 
ඉන් අනතුරුව එකී පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීමට එලෙස අනුමැතිය හිමිව තිබේ.
 
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.
 

"1934 අංක 19 දරන කම්කරු ආඥා පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කරපු පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඒ සංශෝධනය එක්කම දැනට මරණයක දී ගෙවන වන්දි ප්‍රමාණය උපරිමය රුපියල් 550,000 සිට රුපියල් 2,000,000ක් දක්වා වැඩිවෙනවා. නිත්‍ය පුර්ණ බෙලහීනතාවයක දී ගෙවන වන්දිය රුපියල් 550,000ක උපරිමයේ සිට ලක්ෂ 20ක උපරිමය දක්වා වැඩිවෙනවා. ඒ වගේම තාවකාලික බෙලහීනතාවයක දී ගෙවන වන්දිය රු 5,500ක උපරිමයක සිට රුපියල් 47,500ක උපරිමයක් දක්වා වැඩි කෙරෙනවා. මේ පනත් කෙටුම්පත ඉදිරියේ දී ගැසට් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. "