අධිභාර බද්ද පරදන්න වෘත්තීය සමිති එකුමුතුවක්

අධිභාර බද්ද පරදන්න වෘත්තීය සමිති එකුමුතුවක්
2022 අංක දරණ 25% ක අධිභාර බද්ද, සමාජ ආරක්‍ෂණ අරමුදල් සඳහා බලාත්මක කිරීමට එරෙහිව නැගී සිටිය යුතු බව වෘත්තීය හා සිවිල් සමාජ ක්‍රියාකාරී සංවිධාන 21ක එක්ව පිහිටුවා ගනු ලැබූ පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.
 
එහි සම කැඳවුම්කරුවන් වන රංජන් සේනානායක හා සිල්වෙස්ටර් ජයකොඩි යන අයගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
 
එකී නිවේදනය පහත පරිදිය.
 
 
2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව ගණනය කරනු ලබන 2020 අප්‍රේල් මස 01 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා බදු අයකළ හැකි ආදායම රුපියල් මිලියන දෙදහසක් ඉක්මවනු ලබන පුද්ගලයන්, ව්‍යාපාර සහ සමාගම් වලින් බදු අයකළ හැකි ආදායම මත 25% ක අධිභාර බද්දක් පැනවීමට රජය විසින් මේවන විට කටයුතු කරමින් සිටී. 
 
එම අධිභාර බද්ද පෞද්ගලික විශ්‍රාම වැටුප් අරමුදල්, වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු අරමුදල්, වෛද්‍යාධාර අරමුදල් මෙන්ම සේවක අර්ථ සාධක අරමුදල , සේවා නියුක් න්ගේ අරමුදල ඇතුළු සියලු සමාජ ආරක්‍ෂණ අරමුදල් සඳහාද බලාත්මක කෙරෙන බවට අප වෙත වාර්තා වී ඇත.
 
විශේෂයෙන්ම සේවක අර්ථ සාධක අරමුදල 1958 වසරේදී විශේෂ පනතක් මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම අර්ථ ලාභය වෙනුවෙන් පිහිටුවනු ලැබු අරමුදලකි. එවැනි සමාජ ආරක්‍ෂණ අරමුදල් සඳහා සේවකයා මෙන්ම සේවා යෝජකයා විසින්ද ඒකාබද්ධ දායකත්වය ලබාදේ. සේවක අර්ථ සාධක අරමුදල කම්කරු කොමසාරිස්වරයා යටතේ පූර්ණ අධීක්‍ෂණය කෙරෙන අතර අරමුදලේ මූල්‍ය කළමනාකරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් සිදුකෙරේ. අරමුදලේ හිමිකාරිත්වය සාමාජිකයින් සතුවන අතර සිදුකරන ආයෝජන වලින් 90% ක්ම රාජ්‍ය මූල්‍ය ආයතන තුළ සිදුකරනු ලබයි. 
 
සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු මෙම සියලු සුබ සාධක හා සමාජ ආරක්‍ෂණ අරමුදල් වලින් දැනටමත් රජය විසින් බදු අයකර ගැනීමක් සිදුකරන අතර අරමුදලට දායක වන ශ්‍රමිකයින් සිය සේවා කාලය තුළදීද, සේවයෙන් විශ්‍රාම ගිය පසුවද විවිධ අයුරින් බදු ගෙවීම් වලට යටත් වේ. සියලු පාරිභෝගික භාණ්ඩ සඳහා පනවා ඇති වක්‍ර බදු වලට අමතරව 14% ක ආදායම් බද්දක් මෙම අරමුදලේ ඉතිරිය ආපසු ලබාගැනීමේදී ද අයකරනු ලබයි.
 
 
ඉතාම සොච්චම් වැටුපකට හිමිකම් කියන පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම අර්ථ ලාභයෙන් උපයන යම් මුදලක් වේ නම් එය රජය විසින් හඳුන්වාදීමට යන නව අධිභාර පනත මගින් 25% ක බද්දකට යටත් කිරීමට නිර්දේශ කර තිබීම බලවත් අපරාධයකි. රාජ්‍ය සේවක විශ්‍රාම වැටුපටද එම අනුවේදනීය ඉරණම අත්වීමට නියමිත අතර ජීවන බරින් මිරිකී සිටින වැඩකරන ජනතාව ඉතා දුක් මහන්සියෙන් හරිහම්බ කර සිය අනාගතය පිණිස, දුවාදරුවන්ගේ යහපත පිණිස ඉතිරි කර ගන්නා එම මුදලට මෙලෙස බදුපිට බදු ගැසීම මානුෂීය නොවන ක්‍රියාදාමයක් ලෙස සලකමු.
 
බොහෝ විදේශීය රටවල පවා සමාජ ආරක්‍ෂණ අරමුදල් සියලු ආකාරයේ ආදායම් බදු වලින් පූර්ණ වශයෙන් නිදහස් කොට ඇත. සමාජ ආරක්‍ෂණයේ ඇති වටිනාකම මෙන්ම ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් කැපවෙන බවට ප්‍රතිඥා ලබාදෙමින් ජනතාවගේ ජනවරමින් බලයට පැමිණි රජයක් 
 
 
ලෙස එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරනු වෙනුවට මෙවැනි විනාශකාරී තීන්දු ගැනීම අතිශය කනගාටුදායකය. 
එසේම පවතින සෞඛ්‍යමය ගැටලු හා සකලවිධ ආර්ථික පසුබෑම් තුළ රටේ වැඩකරන ජනතාව මෙන්ම සෑම ජන කොටසක්ම මේවන විට දැඩි අපේක්‍ෂාභංගත්වයකට පත්ව ඇති අතර රටේ වැඩකරන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක මෙම සමාජ ආරක්‍ෂණ අරමුදල් වලින් මේ අයුරින් අධිභාර බද්දක් අයකර ගැනීම කිසිසේත්ම සාධාරණ නොවන බව අප අවධාරණය කර සිටිමු.
 
රාජ්‍ය හා පෞද්ගලික ශ්‍රම බලකාය රටේ සංවර්ධනයේ ප්‍රධාන නියමුවන් වන අතර එම අඩිතාලම බිඳ වැටුනහොත් තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් අනාගත පුරෝකථනයන් සිදුකිරිම ඉතා අසීරු වනු අත. එසේම රටේ යහපැවැත්ම වෙනුවෙන් රජයක් ලෙස සැමවිටම මහජනතාවගේ පැත්තේ හිඳිමින්, ඔවුන්ගේ සමාජ සුරක්‍ෂිතභාවය තහවුරු වන පරිදි තීන්දු තීරණ ගැනිම සිදුකළ යුතුය. එබැවින් මෙම නව අධිභාර බදු පනත් කෙටුම්පත මගින් අසරණ සේවකයින්ගේ සමාජ ආරක්‍ෂණ අරමුදල් තවදුරටත් අවදානමකට පත් නොකර, එම 25% ක අධිභාර බද්ද, සුභ සාධක හා සමාජ ආරක්‍ෂණ අරමුදල් වලින් අය නොකිරීමට කටයුතු කරන ලෙසට අප රජයේ සියලු වගකිවයුතු පාර්ශව වෙත දන්වා ඇත.
 
එසේ නොවන්නේ නම් මෙම සමාජ ආරක්‍ෂණ අරමුදල් සුරක්‍ෂිත කරගැනීම වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් සමගින් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යොමුවීම පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය ලෙස අප කටයුතු කරන අතර ඒ සඳහා සහාය ලබාදෙන පොදු මහජනතාවගෙන් හා සියලු මාධ්‍ය ආයතන වෙතින් අප සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.