මෙරට ඇඟලුම් හා රෙදිපිළි  වැඩබිම් හි සුරක්ෂාවට නව වැඩසටහනක්

මෙරට ඇඟලුම් හා රෙදිපිළි  වැඩබිම් හි සුරක්ෂාවට නව වැඩසටහනක්

මෙරට ඇඟලුම් හා රෙදිපිළි ආශ්‍රිත කර්මාන්තයේ වැඩබිම් හි හා ඒවයේ සේවක සුරක්ෂිතතාවය සහ සෞඛ්‍යාරක්ෂිත බව ප්‍රවර්ධනයට සඳහා  නව වැඩසටහනක් ඇරඹීමට සහාය ලබාදීමට ජාත්‍යන්තර ආයතනයන්   ඉදිරිපත් වී ඇතැයි   කම්කරු  අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි.

ලෝකයේ ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්ත ශාලාවල එම සුරක්ෂිතතාවය සහ සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයන්  ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්  පිහිටුවා ඇති එකෝඩ් (Accord)) ආයතනයේ විධායක අධ්‍යක්ෂ ජොරිස්  ඔල්ඩෙන්සියල් (Joris Oldenziel)මහතා සහ එහි ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී විරෝනික් කැමේරියර් (Veronique Camerer) මහත්මිය  පසුගියදා (18) කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයාට  එම සංවිධානයේ යථෝක්ත වැඩසටහන ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයාට සිය එකඟතාවය පළ කළේය.

මේ වන විට Accord ආයතනය බංගලිදේශයේ සිය සම්බන්ධීකරණ කාර්යාලය තුළින් එරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන සුරක්ෂිතතා වැඩසටහන් පිළිබඳ අමාත්‍යවරයාට පැහැදිලි කළේය. බංගලිදේශයේ accord ආයතනයේ  කර්මාන්තශාලා ආරක්ෂාවට අදාල අදාල උපදේශකයන් 3500කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන බව ද joris මහතා මෙහිදී  පැවසීය. ලංකාවේ ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩබිම් හි පවතින සුරක්ෂා  තත්ත්වයන් පිළිබඳ සතුටට පත්විය පත් විය හැකි බව ද ජොරිස් මහතා මෙහි දී අමාත්‍යවරයාට පැවසීය.එහෙත් එම තත්ත්වය වඩාත් ඉහල  ප්‍රමිතිගත තලයකට ගෙන ඒමට අවශ්‍ය නම් ඒ සඳහා ආධාර කිරීමට තම සංවිධානය සූදානම් බව  Accord ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයාට පැවසීය.

පසුගිය covid සමයේ ලංකාවේ ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්ත ක්ෂේත්‍ර ආශ්‍රිත  වැඩබිම් හි සුරක්ෂිතතාව සඳහා හාම්පුතුන්, වෘත්තිය සමිති සහ කම්කරු දෙපාර්තමේන්තුව යන ත්‍රෛපාර්ශවික ආයතන එකඟතාවයෙන් ක්‍රියාත්මක කළ වැඩසටහන් පිළිබඳව අමාත්‍යවරයා මෙහි දී එකෝඩ් නියෝජිතයන්ට පැහැදිලි කර දුන්නේය. ඒ තුළින් එම කර්මාන්ත ක්ෂේත්‍රය රැකගැනීමටත්,රටේ අපනයන ආර්ථිකය රැක ගැනීමටත්  එසේම සේවකයන්ට ද  අසාධාරණයක් නොවන පරිදි එම නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව  කරගෙන යෑමට එම ත්‍රෛපාර්ශවික   එකඟතාවය තුළින් හැකි වූ අන්දම  අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කර  දුන්නේය. එහෙත් මෙම ක්ෂේත්‍රයේ  භෞතික හා මානව සම්පත් ආරක්ෂාව සඳහා තිරසර ආරක්ෂණ වැඩසටහන් ජාලයක් ඇති කිරීමේ  අවශ්‍යතාවය අමාත්‍යවරයා අවධාරණය කළේය.

විශේෂයෙන් කොවිඩ් වැනි ආපදා තත්ත්වයක දී සේවකයන්ගේ සහ එම කම්හල් හිමිකරුවන්ගේ  සුරක්ෂාව හා සුභසාධනය  වෙනුවෙන් ශක්තිමත් රක්ෂණ ක්‍රමයක් හෝ සමාජ ආරක්ෂණ අරමුදලක් පැවතිය යුතු බවත්, දැනටමත් මේ පිළිබඳව ලෝක කම්කරු සංවිධානය සහ ලෝක බැංකුව සමග සාකච්ඡා පවත්වා ගෙන යන බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය නිසා අප රටේ කම්කරුවන්ට සිදුවන අනතුරු සඳහා ගෙවන වන්දි මුදල රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ විස්ස දක්වා තම තම නිර්දේශය පරිදි වත්මන් රජය වැඩි කළ බව ද  අමාත්‍යවරයා Accord නියෝජිතයන්ට පැහැදිලි කළේය.

Accord ආයතනයේ  සම්බන්ධීකරණ   කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය අවසරය ලබාගත හැකි බවත්,එහි විෂය පථය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ ඉදිරියේ දී පවත්වනු ලබන සමීක්ෂණයකින් කරුණ තිරණය කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙවැනි අන්තර්ජාතික සංවිධානයක් මගින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් හා රෙදිපිළි ක්ෂේත්‍රයේ කා ශ්‍රමිකයන්ගේ සුරක්ෂාව සඳහා මැදිහත්වීම  තුළින් විදේශ ගැනුම්කරුවන් සහ අන්තර් ජාතික සංවිධාන අතර ශ්‍රී ලංකාව  පිළිබඳ විශ්වසනීයත්වය ඇතිවනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.එහෙයින් හැකි ඉක්මනින් බංගලිදේශයේ ස්ථාපිත කළ ආකාරයේ සම්බන්ධීකරණ  කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා එකෝර්ඩ් සංවිධානයෙන් ඉල්ලා සිටියේය.

එම සාකච්ඡාවට අමාත්‍යතුමාගේ  පෞද්ගලික   ලේකම් නීතිඥ අකිල ගයාන් කෞෂල්‍ය මහතා ද  එක් විය.