පරිපාලන තීන්දුවලට එරෙහිව ගම්පහ රෝහල ලෙඩවෙලා

පරිපාලන තීන්දුවලට එරෙහිව ගම්පහ රෝහල ලෙඩවෙලා
ගම්පහ  දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය , කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු අංශ කිහිපයක සේවක සේවිකාවන්  පසුගිය 02 වෙනි දිනයේ සිට අසනීප නිවාඩුමත සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රෝහලෙහි කටයුතු මුළුමනින්ම පාහේ අඩාල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
හෙද කාර්ය මණ්ඩලය ඇතුළු අංශ කිහිපයක කාර්ය මණ්ඩලයට ලබාදී තිබූ සතියකට දෙදිනක විශේෂ නිවාඩුව පසුගිය ජූනි මස 15 වෙනි දින රාජ්‍ය පරිපාලන අංක 15 / 2022  දරණ චක්‍රලේඛය මගින් අහෝසි කිරීමට එරෙහිව මෙවන් පියවරක් ගැනීමට සිදුවූ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් , රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශිකාවක, පැවසූ අතර වෙනත් රෝහල්වල දැනටත් ලබාදෙන විශේෂ නිවාඩුව ගම්පහ රෝහලෙහි පමණක් අත්හිටුවා ඇති බවද, ඇය ප්‍රකාශ කළාය.
 
පවතින ඉන්ධන අර්බුදය සහ ප්‍රවාහන අපහසුතාවය මධ්‍යයේ සේවයට වාර්තා කිරීමට ඇති අපහසු තත්ත්වය හමුවේ ලබා දුන් විශේෂ නිවාඩුව අහෝසි කිරීම සම්බන්ධයෙන් පසුගිය 19 වෙනි දින සිට රෝහල් අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡා කළද, විසඳුමක් නොලැබුණ බවත් මීට විසදුමක් ලැබෙන තුරු සේවයට වාර්තා නොකිරීමට වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇති බවත්  ඇය අවධාරණය කළාය.
 
කෙසේ වෙතත් අසනීප නිවාඩු දැමීමේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහලෙහි බාහිර රෝගී ප්‍රතිකාර කටයුතු , ගිලන්රථ සේවා කටයුතු , නේවාසික රෝගීන්ට ආහාර සැපයීම මෙන්ම හදිසි ප්‍රතිකාර කටයුතු පවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව දැනගන්නට ඇත.