ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රතු එළියක්

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රතු එළියක්
ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට නිසි බලධාරියෙකු පත්කළ යුතු බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
 
එසේ කොට පරිපාලනය සඳහා නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවත්, වර්තමානයේ රට තුළ පවතින තත්වය සාමාන්‍ය තත්වය යටතේ කළමනාකරණය කළ නොහැකි බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කරයි.
 
අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ජීවිත අවදානම නොතකා මැදිහත් වන රාජ්‍ය නිලධාරීන්ට වන පීඩා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත්නොවීමට විරෝධය දක්වන බවත්, මාතර ප්‍රාදේශීය ලේකම්වරිය අපහසුතාවට පත්කළ මාතර මහ රෝහලේ සේවකයින් පිරිසට සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාගේ රාජකාරියට බාධා කළ කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් එම සංගමය පෙන්වාදෙයි.
 
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කියයි.