මාධ්‍යවේදීන්ට සිදුකළ අමානුෂික පහර දීම තරයේ හෙලාදකිමු

මාධ්‍යවේදීන්ට සිදුකළ අමානුෂික පහර දීම තරයේ හෙලාදකිමු
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිල නිවස අසල පැවති විරෝධතාවයක් අතර වාරයේදී එය වාර්තා කිරීමට ගොස් සිටි සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් සිව්දෙනෙකුට එහි රැඳී සිටි ආරක්ෂක අංශ විසින් අමානුෂික ලෙස පහර දී තිබේ.
 
පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් සිව්දෙනා මේවනවිට කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත්කර තිබේ.
 
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී අවධාරණය කළ යුතු වන්නේ වාර්තාකරණයට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහතික කිරීම උදෙසා ඇති වැදගත් අයිතිවාසිකමක් වන අතර මාධ්‍යවේදීන්ට කවර තත්වයක් යටතේ වුවද බාධාවකින් තොරව සිය වෘත්තිය කරගෙන යාමට ඇති නිදහස සහතික කිරීම ආණ්ඩුවේද වගකීම වන බවයි.
 
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තිය අනුව සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇතිබව සහතික කර තිබෙන අතර ජාත්‍යන්තර වශයෙන් ගත්කල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනයේ 19 වෙනි වගන්තිය මගින්ද මිනිස් පවුලේ සෑම කෙනෙකුටම හිමිවිය යුතු, කිසිම පුද්ගලයෙකු විසින් උල්ලංඝනය නොකළ යුතු අයිතිවාසිකමක් ලෙස "නිදහස් මත දැරීම සහ එම මත පළ කිරීමේ අයිතිය " සඳහන් කර තිබේ.
 
තොරතුරු දැන ගැනීම අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ මාධ්‍යවේදීන්ට තොරතුරු ලබා ගැනීමට හිමිව ඇති අයිතිය තුළින් සෘජුව මහතනතාවට ප්‍රයෝජන ලැබෙන අතර එමඟින් මහජනතාවට නිවැරදි තොරතුරු දැනගැනීමේ අවස්ථාව හිමිවෙයි.මෙම තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම තනි තනි පුද්ගලයින්ට මෙන්න මාධ්‍යවේදීන්ටද ඉතා ඉහළ මට්ටමින් හිමිවෙන අයිත්වාසිකම් වන අතර එය උල්ලංඝනය කිරීම වරදකි.

එලෙස තොරතුරු වාර්තාකරණය කළ මාධ්‍යවේදීන්ට මෙලෙස ශාරීරිකව වදහිංසා පැමිණුවීම තොරතුරු දැනගැනීමේ පනත යටතේ සුළුකොට තැකිය නොහැකි වරදක් ලෙස අප අවධාරණය කරන අතරම මෙම පහරදීම අපරාධ නීතිය යටතේද දඬුවම් හිමිවෙන හා මානව නීති උල්ලංඝනය කිරීමක් ලෙසද පෙන්වා දෙමු.

එලෙස ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් මාධ්‍ය නිදහස තහවුරු කර ඇති විටක මෙලෙස අමානුෂීක ලෙස මාධ්‍යවේදීන්ට පහර දීම විශේෂයෙන් ඔවුන් වාර්තාකරණය සිදුකරන අවස්ථාවේදී පහරදීම දැඩි ලෙස හෙලා දකින අතර මේ ආකාරයෙන් මාධ්‍යවේදීන්ට පහර දීම පිළිබද විධිමත් ස්වාධීන සහ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ,පහරදීම සිදුකල නිලධාරීන්ට නීති මාර්ගයෙන් කටයුතු කළ යුතු බවත් තරයේ අවධාරණය කරමු.