මාධ්‍යවේදීන්ට පහරදීම හෙළාදකියි - ත.ජ.ස

මාධ්‍යවේදීන්ට පහරදීම හෙළාදකියි - ත.ජ.ස

ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ ම්ලේච්ඡ ලෙස ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, 09. 07. 2022 දින දවස පුරා පැවති මහජන අරගලය ආවරණය කරමින් සිටි ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම් සහ පහරදීම් කිහිපයක් වාර්තා වූ අතර ආසන්නතම සිදුවීම අගමැතිවරයාගේ නිවස අසලදී මීට එක ටික වෙලාවකට පෙර වාර්තා විය.

පොලිස් විශේෂ කාර්ය බලකාය රනිල් වික්‍රමසිංහගේ නිවස අසලදී සිරස නිව්ස් ෆර්ස්ට් මාධ්‍යවේදීන් ඇතුළු ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට අමානුෂික ලෙස පහර දී තිබුණු අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු මේ වන විට රෝහල් ගත කර තිබේ. ඔවුන්ගේ කැමරා ඇතුළු උපාංග වලට ද බරපතළ හානි සිදු වී ඇති බව ජනමාධ්‍යවේදීන් අපට දැනුම් දී ඇත.

මෙම පහරදීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට, පොලිස්පතිගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පතිට,  පොලිස් මාධ්‍ය ප්‍රකාශකට සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ ජයසුන්දරට වාචිකව සහ ලිඛිතව දැනුම් දී තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශ ප්‍රහාර දියත් කර තිබූ නිසා ඊයේ සහ අද දිනයේ අරගලවලදී ජනමාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල නොකරන ලෙස සහ ඔවුන්ගේ රාජකාරියට සහයෝගය ලබා දෙන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පසුගිය 07 වැනිදා  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් සහ පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබියදීත් මෙලෙස පහර දීම මගින් පෙන්නුම් කරන්නේ ආරක්ෂක අංශ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය පසෙක තබා තවදුරටත් ආණ්ඩුවේ උවමනා එපාකම් මත කටයුතු කරන බවයි.

ආරක්ෂක අංශවල මෙම කෲර සහ ම්ලේච්ඡ හැසිරීම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස  හෙළා දකින අතර මෙම සෑම සිදුවීමකටම අදාලව ආරක්ෂක අංශ ප්‍රධානීන්ට සහ පහරදීම සිදු කරන නිලධාරීන්ට එරෙහිව ද නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වෙමු.