සිරස ආයතනයේ මාධ්‍යවේදීන්ට පහර දුන් නිලධාරීන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි

සිරස ආයතනයේ මාධ්‍යවේදීන්ට පහර දුන් නිලධාරීන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ආසන්නයේ වාර්තාකරණ කටයුතුවල නිරත වෙමින් සිටි සිරස මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට සහ ඔවුන් මුදා ගැනීමට පැමිණි දෙදෙනෙකු ද ඇතුළත් මාධ්‍යවේදීන් 06 දෙනෙකුට පොලිස් සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් පහර දෙනු ලැබීමේ සිදුවීම දැඩි පිළිකුලෙන් යුක්ත ව හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවක ජනමාධ්‍යයේ කාර්යභාරය සිදු වෙමින් පවතින සියලු දේ සවිස්තරාත්මක ව ජනතාව වෙත ඉදිරිපත් කිරීමයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම්වලට අනුකූල කර්තව්‍යයකි. එම නිසා පහර දීමට ගොදුරු වූ මාධ්‍යවේදීන් ස්වකීය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලැබීමට භාජනය වී ඇති බව තරයේ ප්‍රකාශ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හිංසක නිලධාරීන්ට එරෙහිව නීති ප්‍රකාර ව ක්‍රියා කළ යුතු බව අවධාරණය කරයි.

පහර දීමට භාජනය වූ අවස්ථාවේ අදාළ මාධ්‍යවේදීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) අ සහ 14(1) උ වගන්තිවලින් දැක්වෙන මූලික අයිතීන්වල ආවරණය ලබමින් සිටි බව ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාවේ දැක්වෙන වධහිංසාවට, කෲර හෝ අමානුෂික හෝ අවමන් සහගත සැළකිල්ලකට, දඬුවමකට යටත් නොකළ යුත්තේ ය යනුවෙන් දැක්වෙන මූලික අයිතිවාසිකමට හිමිකම ලබමින් සිටි බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.

එසේම, ශ්‍රී ලංකාව වධහිංසාවලට එරෙහි වීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තබා 1994 අංක 22 දරන පනතෙන් එය අපරානුමත කොට ඇත. සිය වාර්තාකරණයේ නිරත වෙමින් සිටි මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස පහර දුන් පොලිස් හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම පනත අනුව ද වරදකරුවන් විය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය යි.

එම නිසා මෙම කෲර පහර දීමට හා වධහිංසාවට වග කිව යුතු නිලධාරීන් නීතිය හමුවට පැමිණ වීම පොලිස්පතිවරයාගේ රාජකාරි වගකීම වන අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් කොමිසම ද, මානව හිමිකම් කොමිසම ද මැදිහත් විය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කරයි.