ගෝඨාභය රනිල් යනතුරු අඛණ්ඩ හර්තාල්

ගෝඨාභය රනිල් යනතුරු අඛණ්ඩ හර්තාල්
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඉල්ලා අස්වන තෙක් අඛණ්ඩ වැඩ වර්ජන සහ හර්තාල් ව්‍යාපාර ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි.
 
ඉදිරි දින කිහිපයේදී රට පුරා ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශ වැඩබිම් තුළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල මහතා පැවසීය.
 
ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඉල්ලා අස්විය යුතු බවට ජනතාව අඛණ්ඩව කරමින් සිටින ඉල්ලීමට කන්දීමට ඔවුන් සූදානම් නැතිනම් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.
 
දැනටත් ඔවුන් දෙදෙනා මහජනයා අතර දැඩි අප්‍රසාදයට ලක්ව සිටින බැවින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දක්වා එය දිග්ගැස්සෙන්නට නොදෙන ලෙස ඔවුන්ගෙන් තමා ඉල්ලීමක් කරන බව ද නන්දුල මහතා කීවේය.
 
ඔහු මේ බව පැවසුවේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව මගින් කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
 

මීට පෙර අප්‍රේල් 28 හා මැයි 6 දිනවල ක්‍රියාත්මක කළ හර්තාල්, වැඩවර්ජන, උද්ඝෝෂණවලට වඩා ඉදිරියට ගිය වෘත්තීය ක්‍රියාමාර්ග මෙවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.