ජනතාව විනාශ මුඛයට තල්ලු නොකර සිටින ලෙස වැඩබලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්

ජනතාව විනාශ මුඛයට තල්ලු නොකර සිටින ලෙස වැඩබලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්

විධායක ජනාධිපතිවරයෙකුගේ පාලන බලය අතට ගත් වහාම සිදු කරන ලද්දේ හදිසි නීතිය හා ඇඳිරි නීතිය වැනි මර්ධන අණ පනත් ක්‍රියාත්මක කිරීමට  හා අරගලය පිළිබඳ රට තුල වැරදි චිත්‍රයක් පෙන්වීම සඳහා ඉතා සැළසුම් සහගතව ප්‍රහාරයට ලක්වූ හමුදා නිලධාරීන්ගේ සුවදුක් බැලීමට යාමෙන් රටට හඟවන්නට උත්සහ දරන ලද්දේ එම නිලධාරීන්ගේ වේදනාව බෙදා ගැනීමකට වඩා ඔබ ඉදිරියේදී ගැනීමට  බලාපොරෝත්තු වන තීරණ වල සේයාවක් බවත්, මෙවන් දේශපාලන නූල් සූත්තර හේතුවෙන් ඔබද විනාශයට පත්වී රටද මහජනතාවද විනාශ මුඛයට තල්ලු කර හරින බවත්, අවම වශයෙන් මීළඟ මැතිවරණය තෙක් අරගලයේ අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීම උදෙසා අවංක සහයෝගයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බව  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවි කුමුදේස් මහතා වැඩබලන ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

දින සියයක කාලයක අඛණ්ඩ ජන අරගලයක අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලෙස අභිනවයෙන් වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් වැඩභාරගත් ඔබට සුභ පැතීමට නොහැකි වීම ගැන කණගාටු වෙමු.

දේශපාලනික වශයෙන් කෘතහස්තයෙකු වන ඔබට රටේ මහජනතාවගේ ජනමතය සහ අපේක්ෂාව පිළිබඳව අමුතුවෙන් තේරුම් කර දෙන්නට දෙයක් නොමැත.  රට මෙවන් අවාසනාවන්ත ඉරණමකට ඇද දැමූ රාජපක්ෂවරයෙකුට හෝ ඔවුන්ගේ පාලන අවශ්‍යතාවය ඉදිරියට ගෙන යන අනුප්‍රාප්තිකයෙකුට පාලන යාන්ත්‍රණය භාර දෙන්නට රටේ මහජනතාව සූදානම් නොමැති බව පමණක් ඉතා ඕනෑ කමින් අවධාරණය කරමු.

මේ වන විට ඔබ පැහැදිලි ලෙසම පොදු ජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කොට ඇති බැවින් ඔබ නියෝජනය කරන පිළ සහ ප්‍රතිපත්තිය පිළිබදව ඔබට හෝ අපට පැහැදිලි කර ගැනීමට විශේෂ යමන් ඇති බවක් අප නොසිතන්නෙමු. එබැවින් ඔබ කිනම් ප්‍රතිපත්තියක් හෝ දක්ෂතාවයක් දරා සිටින්නේ යැයි ඔබ සිතුවද, ඔබ රාජපක්ෂ අනුප්‍රාප්තිකයෙකි. ඔබට පැවරී ඇත්තේ ඔවුන්ලේ ප්‍රතිපත්ති වලට වෙනත් වර්ණයක් ලබා දී ඉදිරියට ගෙන යාමය. ඔබ විධායක ජනාධිපතිවරයෙකුගේ පාලන බලය අතට ගත් වහාම සිදු කරන ලද්දේ හදිසි නීතිය හා ඇඳිරි නීතිය වැනි මර්ධන අණ පනත් ක්‍රියාත්මක කිරීමට  ඔබ, අරගලය පිළිබඳ රට තුල වැරදි චිත්‍රයක් පෙන්වීම සඳහා ඉතා සැළසුම් සහගතව ප්‍රහාරයට ලක්වූ හමුදා නිලධාරීන්ගේ සුවදුක් බැලීමට යාමෙන් රටට හඟවන්නට උත්සහ දරන ලද්දේ එම නිලධාරීන්ගේ වේදනාව බෙදා ගැනීමකට වඩා ඔබ ඉදිරියේදී ගැනීමට  බලාපොරෝත්තු වන තීරණ වල සේයාවකි.

ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා උද්දච්ඡ තීන්දු ගන්නා ඒකාධිපතියෙකු ලෙස සළකනු ලැබූවද, අවසන් වශයෙන් මහජනතාවගේ අපේක්ෂාවන් තේරුම් ගනිමින් ඊට හිස නමන තත්වයට පත්විය. වර්තමානයට අදාලව විකෘති සහගත වුවද, පවතින පාර්ලිමේන්තුව තුල ඔබට වඩා වැඩි කැමැත්තක් දිනාගැනීමට හැකිව තිබූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවා ව්‍යවස්ථා උඟුල නොරටවන තත්ත්වයක්දී ඔබ රටේ අත්මහත් ජනතාවගේ අපේක්ෂාවන් ව්‍යවස්ථා උගුලක සිර කරන්නට උත්සහ කරමින් සිටින ඉතා පැහැදිලිය.

උක්ත තත්වයන් යටතේ, ඔබ නැවත රාජක්ෂ අනුප්‍රාප්තිකයෙකු ලෙස විධායක ජනාධිපති දූරය පැහැරගනු ලැබුවහොත් එය රට තවදුරටත් අවාසානාවන්ත ඉරඛමක තල්ලු කර හැරෙන බව ඉතා පැහැදිලි බැවින් එම සැළසුම අකුලා ගැනීමට කටයුතු කරන ලෙස ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු. ඒ වෙනුවෙන් ඔබගේ දේශපාලනික අද්දැකීම් ප්‍රයෝජනවත් වනු ඇතැයි ඔබ විශ්වාස කරනු ලබන්නේ නම් අන්තරවාර ආණ්ඩවකින් පසු ඉතා කෙටි කාලයකින් පැමිණෙන මැතිවරණයකදී ඊට ජනවරමක් ලබා ගනිමින් ඔබගේ පාලනයක් ආරම්භ කිරීමට ඉතා පැහැදිලි ඉඩකඩක් තිබියදී මෙවන් දේශපාලන නූල් සූත්තර හේතුවෙන් ඔබද විනාශයට පත්වී රටද මහජනතාවද විනාශ මුඛයට තල්ලු කර හරින්නේය. දේශපාලන නූල් සූස්තර වලට වඩා මහජන මතය කෙරෙහි වැඩි ඉඩකඩක් ලබාදෙන අවම වශයෙන් මීළඟ මැතිවරණය තෙක් අරගලයේ අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීම උදෙසා අවංක සහයෝගයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.