මහබැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමයෙන් අවධාරණයක්

මහබැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමයෙන් අවධාරණයක්
රටේ ආර්ථික ස්ථායීතාව ඇතිකර ගැනීමට නම් දේශපාලනික ස්ථාවරත්වය අත්‍යාවශ්‍ය බවත්,  පවත්නා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකාරී සියලු දේශපාලන පක්ෂවලට එකඟ විය හැකි මූලික ආර්ථික සහ දේශපාලනික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මහබැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
මේ සඳහා පොදු මහජන පිළිගැනීමක් ඇති විධායක ජනාධිපතිවරයෙකු  සහ අග්‍රාමාත්‍යවරයෙකු පත්කර ගැනීම අත්‍යාවශ්‍ය බවත්, එබැවින්  පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ, සිය පක්ෂ හෝ පුද්ගලික න්‍යායපත්‍රවලට ප්‍රමුඛත්වය දීම පසෙකලා පවත්නා ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකි යාන්ත්‍රණයක් ගොඩනැගීමට සක්‍රීයව දායක විය යුතු බවත් එම සංගම අවධාරණය කරයි.
 
 
එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්. එන්. පී. ජයවීර, සභාපති  ඩී. ජේ. පෙරේරා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආමන්ත්‍රණය කරමින් යොමු කළ විවෘත ලිපියක මේ බව දැක්වෙයි.
 
එකී ලිපිය මෙපරිදිය.
 
 
 
 
 
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් වෙත,
 
2022 ජූලි 09 වන දින පැවති මහජන අරගලයෙහි මූලික ඉල්ලීම වූයේ එවකට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂටත් අගමැති වූ රනිල් වික්‍රමසිංහටත් ඉවත් වන ලෙස බලකිරීමයි. එල්ල වූ දැඩි මහජන පීඩනය හමුවේ රටින් පිටවී ගිය එම ජනපතිවරයා මේ වන විට සිය ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ ධූරයෙහි වැඩ බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් වී ඇති අතර එළඹෙන ජූලි මස 20 වන දින පාර්ලිමේන්තුව හරහා නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතය.
 
රටෙහි වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන බව අපගේ අදහස වන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මහජන නියෝජිතයින්ද මෙම අර්බුදයෙහි බැරෑරුම්කම හොඳින් වටහාගෙන ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මෙම අවස්ථාවේ පවතින වඩාත් ප්‍රායෝගික විසඳුම වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට හැකි ඉක්මණින් ඇතුළත් වීම බව මීට පෙර බලයේ සිටි පාර්ශ්වයන් පවා ඉතා පමාවී හෝ හඳුනාගෙන තිබුණි.
 
2022 මැයි 09 දින සිදු වූ දේශපාලන පෙරළියෙන් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් වී මේවන විට මාස දෙකක් ඉක්මවා තිබුණ ද රාජ්‍ය මූල්‍ය අංශයෙහි අත්‍යාවශයෙන්ම සිදුවිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම ඉහත සඳහන් කළ වැඩසටහනට කිසිසේත්ම හිතකර නොවේ. එමෙන්ම, ආර්ථිකයේ ස්ථායීතාවට රුකුලක් වෙන වඩාත් ස්වාධීන මහ බැංකුවක් උදෙසා 2019 දී කෙටුම්පත් කරන ලද " ශ්‍රී ලංකා මහ බැංකු පනත" මේ වන තෙක් පාර්ලිමේන්තුවේ සම්මත කර නොමැති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මහ බැංකුව වඩාත් ස්වාධීන විය යුතු බව අවධාරණය කොට ඇත.
 
ආර්ථික ස්ථායීතාව ඇතිකර ගැනීමට නම් දේශපාලනික ස්ථාවරත්වය අත්‍යාවශ්‍ය වන අතර එහිදී පවත්නා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකාරී සියලු දේශපාලන පක්ෂවලට එකඟ විය හැකි මූලික ආර්ථික සහ දේශපාලනික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුය. ඒ සඳහා පොදු මහජන පිළිගැනීමක් ඇති විධායක ජනාධිපතිවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. එබැවින්, පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ, සිය පක්ෂ හෝ පුද්ගලික න්‍යායපත්‍රවලට ප්‍රමුඛත්වය දීම පසෙකලා පවත්නා ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකි යාන්ත්‍රණයක් ගොඩනැගීමට සක්‍රීයව දායක විය යුතු බව අපි අවධාරණය කරමු.
 
විශේෂයෙන්ම පසුගිය වසර දෙකහමාරක කාලය තුළ දී පාලක පක්ෂය විසින් ගනු ලැබූ වැරදි සහ කාලෝචිත නොවූ තීරණ නිසා උද්ගත වී ඇති වත්මන් ආර්ථික දේශපාලන පසුබිම මත, මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය සමාජයේ බහුතර මතයේ පිළිඹිබුවක් නොවේය යන්න අපගේ අදහසයි. මේ පසුබිම යටතේ පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගනු ලබන විධායක ජනාධිපතිවරයෙකුට දිගු කාලීනව බලයේ රැදී සිටීමට සමාජ පිළිගැනීමක් ලැබේද යන්න සැක සහිතය. එවන් වූ තත්ත්වයක් යටතේ වඩාත් සුදුසු වනුයේ රටෙහි ස්ථාවරත්වය හා සම්බන්ධ මූලික සාධක හෝ සපුරා ඇති පළමු අවස්ථාවේදීම ජනතා මතය විමසීම සඳහා ඔවුන්හට අවස්ථාවක් ලබා දීම වන අතර පත්වන නව පාලකයින් මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
 
මෙයට,
අත්සන් කළේ,
 
එම්. එන්. පී. ජයවීර - ප්‍රධාන ලේකම් ඩී. ජේ. පෙරේරා - සභාපති