අරගලකරුවන් දඩයම් කරන ආණ්ඩු වියරුව පරදවමු

අරගලකරුවන් දඩයම් කරන ආණ්ඩු වියරුව පරදවමු

පොදුජන අරගලයේ අරගලකරුවන් ඉලක්ක කරගත් බියගුලු මඩ ප්‍රචාර, අනියම් බියවැද්දීම් හා අනීතික අත්අඩංගුවට ගැනීම් රැසක් නිහඬව මේ වන විට ක්‍රියාත්මක වී ඇති අතර, මහජන විරෝධය මැඬපැවැත්වීමට හදිසි නීතියද පනවා ඇති අතර, ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන ආරක්ෂාවේ වගන්තිවලට මුවා වී මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය වැනි ව්‍යවස්ථාපිතව පිළිගත් මූලික අයිතිවාසිකම් සීමා කිරීමට ගනු ලබන මෙවැනි අත්තනෝමතික, රාජපක්ෂ පන්නයේ බියගුලූ හැසිරීම් හා තීරණ අපි තරයේ හෙළා දකින බව සර්වපාක්ෂික අරගලකරුවෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ජනපීඩක අසාර්ථක පාලකයෙකු බලයෙන් පහකිරීමේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගත් පොදුජන අරගලය තීරණාත්මක කඩඉමකට පැමිණ ඇත.

ජනාධිපතිවරයා පත් කරගැනීමට අදාළව වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ව්‍යූහය තුළ කටයුතු කරන දේශපාලන පක්ෂවල සහ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ සර්වපාක්ෂික අරගල්කරුවන් ලෙස අපගේ කනස්සල්ල සහ දැඩි අප්‍රසාදය පළ කරමු.

පොදු මහජන අභිලාෂයන් පෙරටු කොටගත් පොදු සම්මුතියක් ඇතිකර ගැනීමට නොහැකිව තටමන දුර්වල විපක්ෂයේ හැසිරීම මෙන්ම විවිධ බලපෑම් සහ වරදාන වරප්‍රසාද හරහා මන්ත්‍රීවරුන් තම ග්‍රහණයට නතුකර ගැනීමට රාජපක්ෂ කපුටු මෙහෙයුම් හරහා දරන අපුල උත්සාහයන් වර්තමාන පාර්ලිමේන්තු ක්‍රමයේ සමස්ත බිඳවැටීම මනාව පිළිබිඹු කරන ජුගුප්සාජනක ප්‍රකාශනයකි. එනිසා කවුරුන් තනිව රාජ්‍ය පාලනයේ භාරකාරීත්වය ගත්තද එය කිසිසේත්ම පිරිසුදු මහජන මතය නොවන බව අප විසින් සිහිපත් කළ යුතුව ඇත. එනිසා රාජපක්ෂ විරෝධී සියලු පක්ෂ සහ කණ්ඩායම් කෑලිවලට බෙදී නොගොස්, පටු දේශපාලන කඳවුරු පසෙකලා ජනතා අපේක්ෂා ජයග්‍රහණය කරවීම උදෙසා පොදු සන්ධානගත වීමකට කටයුතු කර, සර්වපාක්ෂික එකඟතාවක් සහිත ජනාධිපතිවරයෙකු හා ආණ්ඩුවක් පත් කරගැනීමට වහා ක්‍රියාත්මක වන ලෙස අපි බල කර සිටිමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් රට අරාජික වීමට ඉඩ නොදීම අප කාගේත් යුතුකම වන අතර, අපේක්ෂිත ප්‍රශස්තභාවයෙන් බොහෝ ඈතට ගොස් ඇති මුත් මෙය විසඳාගත යුතුව ඇත්තේ පාර්ලිමේන්තු ක්‍රමය හරහා පමණක්ම බව අපගේ විශ්වාසයයි.

එනිසා එළඹෙන 20 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරයා පත්කර ගැනීමේ පාර්ලිමේන්තු ජන්ද විමසීම තුළ තම උරමත ඇති පොදු සමාජ වගකීම පිළිබඳ නිසි නිවැරදි සාධනීය අවබෝධයක් ඇතිව සියලු මන්ත්‍රීවරුන් තම කතිරය සලකුණු කරනු ඇත යන්න පොදුජන අපේක්ෂාවයි.

තවදුරටත් අරගලකරුවන් කොටස් වශයෙන් සාකච්ඡාවලට ගෙන්වා මහජන නැගිටීම සාම්ප්‍රදායික ලෙස කළමනාකරණය කිරීමට පක්ෂ විසින් දරන සියලු උත්සාහයන් සමස්ත අරගලයේ පොදු අරමුණ මඟහැර යාමට දරන අසාර්ථක උත්සාහයක් පමණක් බව අපගේ විශ්වාසයයි.

රට දේශපාලන, ආර්ථික හා සමාජ අර්බුදයක ගිලෙමින් සිටින මෙවන් තීරණාත්මක මොහොතක ක්‍රමයේ වෙනසක් ඉල්ලන ජනතාවට පුද්ගලයන් පිළිබඳ තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බැවින් ජනාධිපතිවරයා ලෙස පත්වීමට අපේක්ෂා කරන මන්ත්‍රීවරුන් විසින් ජන්ද විමසීමට පෙර වත්මන් ජනතා අභිලාෂය සාක්ෂාත් කිරීම වෙනුවෙන් සීමිත කාලසීමාවක් පදනම් කරගත්, රාජ්‍ය පාලනයේදී අර්බුද විසඳීම සදහා වූ තමන්ගේ ප්‍රායෝගික වැඩපිළිවෙළ වහා ජනගත කරන ලෙස අපි සියලු පක්ෂ විපක්ෂ අපේක්ෂකයන්ට බලකර සිටිමු.

මේ අතර පොදුජන අරගලයේ අරගලකරුවන් ඉලක්ක කරගත් බියගුලු මඩ ප්‍රචාර, අනියම් බියවැද්දීම් හා අනීතික අත්අඩංගුවට ගැනීම් රැසක් නිහඬව මේ වන විට ක්‍රියාත්මක වී ඇති අතර, මහජන විරෝධය මැඬපැවැත්වීමට හදිසි නීතියද පනවා ඇත. ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන ආරක්ෂාවේ වගන්තිවලට මුවා වී මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය වැනි ව්‍යවස්ථාපිතව පිළිගත් මූලික අයිතිවාසිකම් සීමා කිරීමට ගනු ලබන මෙවැනි අත්තනෝමතික, රාජපක්ෂ පන්නයේ බියගුලූ හැසිරීම් හා තීරණ අපි තරයේ හෙළා දකිමු.

තවද අරගලකරුවන් දඩයම වහා නවතා රටේ නීතිය සහ ක්‍රමය ස්ථාපිත කිරීමට පමණක් තම බලය නිසියාකාරව භාවිත කරන මෙන් වැඩබලන ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයා ඇතුළු සමස්ත පොලිස් නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටීමට කැමැත්තෙමු.