ජනතාවගේ විශ්වසය දිනාගත් සර්වපාක්ෂික පාලනයක් පිහිටුවා ගන්න

ජනතාවගේ විශ්වසය දිනාගත් සර්වපාක්ෂික පාලනයක් පිහිටුවා ගන්න

මේ මොහොතේ රට පුරා අරගල කරන, දුක් විදින මුළු මහත් ජනතාව ඉල්ලා සිටින්නේ, රට විනාශය කරා ගෙන ගිය  පාලනය අවසන් කලයුතු බවත්, ලෝකයේ  හා අප ජනතාවගේ විශ්වාසය දිනාගත් සර්වපාක්ෂික පාලනයක් වහා පිහිටුවා ගතයුතු බව කරුණු 15ක ලියවිල්ලක් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ගේ සහයෝගිතාවය විසින් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම් පහතින් දැක්වේ.

අවාසනාවන්ත ලෙස මෙම අපේක්ෂාව ඉටුකරලීමට, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලනපක්ෂ  සාධනීයව මැදිහත් නොවූ තත්වයක් තුල, 83’ කළු ජූලියට පසු නැවතත් ශ්‍රී ලාංකීය ජනතාව අශීලාචාර ජාතියක් බවට  ජාත්‍යන්තරයට ඒත්තු ගන්වමින්  මැත ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කරගත් බවත්, ඔබ සියළු දෙනාම තම තමාගේ පක්ෂ ප්‍රතිපත්ති පතුරු ගසමින් සිට ඒ සඳහා දායක වූ බවත් කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

රට වර්තමානයේ පත්ව ඇති තත්වයෙන් ගොඩ ගැනීම සදහා කලයුතු  ප්‍රමුඛ කාර්‍යය  වන්නේ ඔබලා සියලුදෙනා එක්ව සාමුහික බලයක් ගොඩනැගීම බව අපි තරයේ විශ්වාස කරමු.

එබැවින් නිදහස් අධ්‍යාපනයෙන් පළ නෙලාගත් විද්‍යාර්ථින් ලෙස මෙහිදී යම් කාර්‍යය භාරයක් අපට ද පැවරී ඇති බව විශ්වාස කරමින් පහත ඉල්ලීම ඉතා ඕනෑකමින් සහ වගකීමෙන් යුතුව ඔබලාගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. එහිදී පක්ෂ  පාට හා දේශපාලන මතයන් පසෙක ලා  රට ගොඩනැගීමට සියල්ලන් ම සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතුබව හා  එකී අරමුණ පෙරදැරිකරගෙන  සකසනලද  කෙටි කාලීන යෝජනා පහත සදහන් පරිදි වේ.

  1. අන්තර්වාර පාලනයක් උදෙසා සර්වපාක්ෂික  පාලනයක් පිහිටුවීමේ අභිලාසය පෙරදැරි කොට, යෝජිත අන්තර්වාර  පාලනය ඉදිරි මාස 8ක් හෝ මාස 12ක පමන කාලයක් සදහා බලාත්මක වියයුතු අතර, නව ජනාධිපති පත්වීමෙන් පසු එළඹෙන පළමු අවස්ථාවෙදීම ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා ඉන් පසු ඉඳුරාම මහා මැතිවරණයක් පැවැත්විය යුතු බව.
  2. කැබිනට් මණ්ඩලය 15 හෝ 20 සීමා විය යුතු අතර එය දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ වල නියෝජිතත්වයකින් සමන්විත යුතු වේ. කැබිනට් මණ්ඩල සාමාජිකයින් බරපතල දුෂණ අපරාධ හෝ අක්‍රමිකතා චෝදනා වලට ලක් නොවූවන් විය යුතුය.
  3. යෝජිත ව්‍යවස්ථා සංශෝධන ඉතා ඉක්මණින් හඳුන්වා දීම තුලින් ජනාධිපති බලතල සීමා කිරීම හා නාමමාත්‍රික ජනාධිපතිවරයකු පත්කර ගැනීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මතකරගත යුතුය.
  4. 19 ව්‍යවස්ථා සංශෝධන මගින් හඳුන්වාදුන් ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම  හා අරගලයේද ඉල්ලීමක් වූ මහජන කවුන්සිලයක්  පත් කිරීමට කටයුතු කිරීම.
  5. අමාත්‍යවරුන් ඇතුළු සියළු මහජන නියෝජිතයන් ජනතා සේවකයින් වන අතර ඔවුන්ට ලබා දෙන සියළු VIP සැළකිලි වහාම නතර කළ යුතුය.
  6. ආරක්ෂකයින් සීමා කිරීම , වාහන භාවිතය අවම කිරීම, ලිපි ද්‍රව්‍ය හා මුද්‍රණ කටයුතු සීමා කිරීම.විදේශ සංචාර අවම කිරීම, සහභාගීවන විදේශ සංචාරවලදී රටට රැගෙන එන  ප්‍රතිලාභ පිළිබඳ වාර්තාවක් ලබාගැනීම.ඇමති වරප්‍රසාද නොමැති අතර ඒ වෙනුවෙන් මංත්‍රීවරුන්ට වඩා නිශ්චිත අමතර දීමනාවක් ගෙවීම.
  7. අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පෞද්ගලික ලේකම් හැරුණු විට අන් සියලුම දෙනා රජයේ සේවකයන් විය යුතුය.
  8. අමාත්‍යාංශ ලේකම් ධූර ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් පමණක් ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා සුදුසුකම් මත සිදු කල යුතුය.  ඒ සදහා කිසිදු ලෙසකින් විශ්‍රාමික හෝ දෙශපාලනික පත්වීම් සිදු නොකළ යුතුය.
  9. දැනට ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන් හැර දේශපාලන හිතවත්කම් හා ඥාති සම්බන්ධතා මත මත විදේශීය දූත සේවයේ යෙදී සිටින්නන් වහාම ආපසු කැඳවිය අතර විදේශ සේවා හා තානාපති සේවා සඳහා විදේශ සේවා  නිලධාරීන් පමණක් තෝරාගත යුතුය.
  10. සංස්ථා මංඩල වල සභාපති වරු අදාල ක්ශේත්‍රයේ පශ්චාත් උපාධි යක් හෝ පලපුරුද්ද මත පත්කලයුතු අතර ඔවුන්ගේ මාසික ගෙවීම, PED චක්‍ර ලේඛනයේ A,B,C යනාදී යනාදී වශයෙන් කාණ්ඩ ගතකිරීම් වල සඳහන් සීමා නොඉක්මවිය යුතුය. එකී සීමා ඉක්මවා කරන ගෙවීම් වහාම නතර කළ යුතුය.
  11. රාජ්‍ය සංස්ථා හා ව්‍ය වස්ථාපිත මණ්ඩල වලට පත් කරන භාණ්ඩාගාර නිලධාරීන් අදාල ආයතන වල මුල්‍ය විනය පිලිබඳ  දැඩි අවධානයක් යොමු කළ යුතුය.
  12. අවන්ගාර්ඩ් පුද්ගලික සමාගම Avant Garde Maritime Services (AGMS) නැවතත් ශ්‍රී ලංකා  නාවික හමුදාව වෙත ලබාදීම ට වහාම කටයුතු කිරීම.
  13. ජනතාව කුසගින්නෙන් මුදවා ගැනීම සඳහා මූලික ආහාර කඩිනමින් වෙළෙඳපොළ වෙත ලබාදීම හා ජනතාවගේ මූලික හා ප්‍රධාන  අවශ්‍යතාවයන් වූ ආහාර, විදුලිය, ඉන්ධන, ගෑස් යන ක්ෂේත්‍ර සඳහා දැනට උද්ගතවී ඇති අර්බුදය කඩිනමින් විසඳීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම.
  14. ශක්‍යතා අධ්‍යනයකින් තොරව කිසිදු මංත්‍රීවරයකුගේ අභිමතය පරිදි  පෞද්ගලික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම හා සංවර්ධන ව්‍යාපෘති නියාමන කොමිෂන් සභාවක් වහාම පිහිටුවිය යුතු අතර රාජ්‍ය අරමුදල්/විදේශ ණය මත ක්‍රියාත්මක කිරීමට යෝජිත සියළු සංවර්ධන ව්‍යාපෘති යෝජනා මෙම කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු අතර, එමගින් කෙරෙන ශක්‍යතා අධ්‍යනයකින්, එහි අනුමැතිය ලැබීමෙන් පසුව පමණක් ඒවා ක්‍රියාත්මක කළ යුතුය.
  15. 2015 සිට මේ දක්වා දුෂණ අපරාධ හෝ අක්‍රමිකතා චෝදනා එල්ල වූ,  තාක්ෂණික දෝෂ හේතුවෙන් නිෂ්ප්‍රභා වු හා විවිධ අයථා බලපෑම් මත නීතිපතිවරයා විසින් ඉල්ලා අස් කරගත්, බලයේ සිටි දේශපාලඥයින් හා රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් වූ සියලුම නඩු හෝ හා නෛතික ලිපිගොනු නැවත විමර්ශනය සඳහා සුදුසු කටයුතු කිරීම.

ඉහත දක්වා ඇත්තේ දැනට ඇති වී තිබෙන ව්‍යසනකාරී ආර්ථික හා දේශපාලනික ගැටළු සඳහා මහජනතාවට දැනෙන හා අස්වැසිල්ලක් ගෙනදීය හැකි  ඉතා කෙටිකාලීන හා ක්ෂණිකව ක්‍රියාත්මක කල හැකි යෝජනා වන අතර, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී  හා ආර්ථික නිදහස මහජනතාවට ලබාදෙන, වඩාත් ස්වාධීන හා විනිවිදබාවයකින් යුතුව විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය ක්‍රියාත්මක වීම සඳහා වන මධ්‍ය  කාලීන හා දිගු කාලීන යෝජනා ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන  අතර,  සාමකාමී අරගල කරුවන්ගේ අහිංසක ඉල්ලීම්  හා බලාපොරොත්තු මල්ඵල ගැන්වීමටත්, “ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි " යනුවෙන් දශක ගණනාවක් තුල අපව හදුන්වා ඇති ලේබලයෙන් වෙනස් කර, අප රට දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමට දායක වන මෙන් ඉල්ලා සිටිමු.