වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම සහ ඊට අදාළ දිනය අනුව රටපුරා ඉන්ධන බෙදාහැරීම හෙට (21) ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (20) පස්වරුවේ කියා සිටියේය.
එම ඉන්ධන බෙදාහැරීමට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අදාළ නොවන බවත්, වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 3, 4 සහ 5 වන වාහන පමණක් අද දිනයේ ඉන්ධන ලබාගැනීමට පැමිණිය යුතු බවත් කුමාර රාජපක්ෂ මහතා කීය.
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතාගෙන් ඊයේ පස්වරුවේ කළ විමසුමේදී පැවසුවේ ඉන්ධන ප්‍රවාහන සඳහා වාර්තා කරන ලෙස ටැංකි රථවලට පස්වරුව දක්වා කැඳවීමක් කර නොමැති බවය.
ඛනිජ තෙල් සංස්ථාව සතුව මේ වන විට ඩීසල් මෙටි්රක්ටොන් 80,000 කට ආසන්න සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 කට ආසන්න තොගයක් ඇති බව ද බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියක් කියා සිටියේය.
මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දෙන කොමිස් මුදල සියයට 3 ක කොටස සියයට 1 ක් දක්වා අඩු කිරීම හේතුවෙන් ඉන්ධන බෙදුම්කරුවන් ඒකාබද්ධව ඇනවුම්කිරීම අත්හිටුවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීම හේතුවෙන් මෙසේ කොමිස් මුදල අඩුකර ඇතැයි දැනගන්නට තිබෙන බව කී ඉන්ධන බෙදුම්කරුවන්ගේ නියෝජිතයෙක් පැවසුවේ පාඩුව අවම කරගැනීමට බෙදුම්කරුවන්ගේ කොමිස් මුදල අඩු කිරීම අසාධාරණ බවය.
ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන තොග ඇනවුම් නොකිරීම හේතුවෙන් ජනතාවට ඉන්ධන නොමැති තත්ත්වයක් ඇතිවිය හැකි බවත් මෙම තත්වයෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වනු ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති.