නව ජනාධිපතිවරයාගෙන් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා යෝජනා මාළාවක්

නව ජනාධිපතිවරයාගෙන් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා යෝජනා මාළාවක්

දේශපාලන ස්ථාවරත්වය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ශක්තිමත් කරමින් ආර්ථිකය යළි පිළිසකර කිරීම වෙනුවෙන් ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන පහත නම් සඳහන් වෘත්තීය සමිති යෝජනා මාළාවක් ඉදිරිපත් කර ඇත.

එම යෝජනා මෙසේය,

නව විධායක ජනාධිපතිවරයෙකු පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන් අතුරෙන් ලබන 20 වන දින පත් කරගනු ලැබීය. යම් දේශපාලන ස්ථාවරත්වයක් සඳහා එය එක්තරා ආකාරයකට, මේ ව්‍යවස්ථා රාමුව තුළ වහා ගත හැකි තාවකාලික පියවරක් යැයි ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන පහත නම් සඳහන් වෘත්තීය සමිතිවල මතය වේ.

සිව් මසක පමණ කාලයකට පෙර ගාලු මුවදොර පිටියේ ගොනු කෙරුණු විරෝධය ඒ වන විටත් රටේ පැවති සමාජ, ආර්ථික අර්බුදය හේතුකොට ගෙන ගාලු මුවදොර පිටියට ගොනු වූවකි. එසේ මුත් මේ කාලය පුරා ජනතාවගේ ප්‍රශ්න සමගින් ආර්ථික ක්‍රියාවලියේ නිෂ්පාදන කටයුතු හා සේවා සැපයුම් යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමේ විසඳුම් මෙතෙක් ලැබී නැත.

රජයේ කාර්යාල ක්‍රියාත්මක වන්නේ යලට, මහට ය. බරපතල ඖෂධ හිඟයක් ඇති රෝහල් සේවයද අසීරුවෙන් නඩත්තු කෙරෙන්නකි. කොරෝනා වසංගත සමයේ සිට පාසල් අධ්‍යාපනය මුළුමනින් මෙන් අඩාලව ඇතත් මේ දරුවන්ගේ අධ්‍යාපනය යළි ආරම්භ කිරීමට පාසල් විවෘත කළ නොහැකි තත්ත්වයකට රට පත්ව ඇත. එයින්ම කියැවෙන්නේ රටේ පොදු ප්‍රවාහනය ද ඉන්ධන හිග`ය සමග බිඳ වැටී ඇති බවය. ප්‍රවාහනය බිඳ වැටීම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනය ද ධීවර හා කෘෂි නිෂ්පාදන ද අඩාලව ඇත. විදුලි කප්පාදුව ඊට එකතුවන තවත් බරපතල අවුලකි. ඒ සියල්ල සමග දේශීය නිෂ්පාදනය බිඳ වැටීම හේතුවෙන් අවිධිමත් ක්ෂේත්‍රයෙහි ආදායම් ඉපැයූ දහස් ගණනක් අද අනාථව ඇත.

එවැනි පසු බිමක අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රය සැළකිය යුතු පසු බැමකට හසුව ඇත. මේ ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් බහුතරය ග්‍රාමීය ප්‍රදේශ වලින් සංක්‍රමණය වූ ශ්‍රමිකයින්ය. ඔවුන්ගේ පදිංචිය එනිසා කාර්මික ප්‍රදේශවල නිත්‍ය පදිංචියක් නොවන, බෝඩිංකාර පැවැත්මක් බැව් කවුරුත් දනිති. පසුගිය මාස කිහිපයේ ආහාර සපයා ගැනීමේත් දෛනික ප්‍රවාහනයේත් එනිසාම සේවා වාර්තා කිරීමේත් අසීරුතාවන්ට ඔවුහු හසු වූහ. එය නිෂ්පාදනයට සෘජුව බලපාන්නට වූ අතර, විශේෂයෙන් මධ්‍යම පරිමාන නිෂ්පාදන ආයතන ඉන්ධන හිඟය සමග ඔවුන්ගේ ඇණවුම් සම්පූර්ණ කර ගැනීමේ අපහසුතාවන්ට මුහුණ දුන්හ. එවැනි අර්බුදකාරී පරිසරයක පෞද්ගලික හා රාජ්‍ය සංස්ථා ක්ෂේත්‍රවල සේවක සේවිකාවන්ට ඔවුන්ගේ ගැටළු වෙනුවෙන් සාධාරණ විසඳුම් ඉල්ලා සිටින්නට ඇති එකම රාජ්‍ය දෙපාර්තමේන්තුව වන කම්කරු දෙපාර්තමේන්තුවෙන් කිසිදු පිළිසරණක් බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයකට එම දෙපාර්තමේන්තුව පිරිහී ඇත.

මේ අවිනිශ්චිතතාවන් හා අස්ථාවරත්වය නිමා වීමේ පෙර ළකුණු දැකිය නොහැකි යැයි අප රටට ඇණවුම් ලබා දෙන සැපයුම්කරුවන් හා සන්නාහ හිමියන් මේ වනවිටත් ඔවුන්ගේ ඇණවුම් ඉදිරියේදී අපට ලබා දීම පිළිබඳව දෙගිඩියාවෙන් ඉන්නා බව ප්‍රධාන පෙළ ඇඟළුම් නිෂ්පාදකයෝ හොඳින් දන්නාහ. එවැනි තත්ත්වයකට අප පත් වුවහොත් විදේශ විනිමය අර්බුදය තව දුරටත් උග්‍රවන අතර, රැකියා දහස් ගණනින් අහෝසිවන බවද අප සිහි තබා ගත යුතුය.

තවමත් පවතින ආණ්ඩු පාලනය මේ තත්ත්වය සමනය කරගත හැකි අයුරු දේශපාලන පියවර ගැනීමක් අපි නොදකිමු. විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මකවන ජන සමාජයේ මූලික අවශ්‍යතා සපුරන බොහෝ ආයතන හදිසි නීතිය යටතේ ගැසට් නිවේදනයක් මගින් ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගැනීම ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් හේතු නොවන්නකි. එය බලහත්කාර සමාජ නිහැඬියාවක් නඩත්තු කරන්නක් පමණි. ආයෝජකයින් පැමිණෙන්නේත් නිෂ්පාදන ක්‍රියාවලිය වඩා පලදායි ලෙස පවත්වා ගත හැක්කේත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක බැව් අපි අවධාරණය කරමු. එබැවින් මේ තත්ත්වයට මුහුණ දිය හැක්කේ වඩ වඩාත් බලහත්කාර, අධිකාරවාදී පාලනයක් සඳහා පියවර ගැනීමෙන් නොවන බව අපි එකහෙළා කියමු.

මෙවැනි ඉතා අයහපත් දේශපාලන හැඩ ගැසීම් සමගින්වන බංකොලොත් ආර්ථිකයක ජනතා අවශ්‍යතාවන් වෙනුවෙන් විසඳුම් සකසා ගැනීම සඳහා ජුලි 20 වන දින පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කරගත් ජනාධිපතිවරයාට අප ඉතා දැඩිව කියන්නේ වහා මේ තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා ඔවුන්ගේ කෙටි කාලීන සැළසුම ඉදිරිපත් කළ යුතු අතර, එහි පහතින් සඳහන් මෙම යෝජනා අනිවාර්යෙන්ම ඇතුළත් කර තිබිය යුතු යැයි කියා ය.

  1. ආර්ථික අහේනියට හසුව ඉන්නා අඩු ආදායම්ලාභී දිළිඳු ප්‍රජාව වෙනුවෙන් ඉදිරි දෙසතියක කාලය තුල ඉන්ධන, භූමි තෙල්, ගෑස් සහ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට ලබාදීමට පියවර ගත යුතුය.
  2. යෝධ යටිතල පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සියල්ල අත්හිටුවා, ආරක්ෂක අයවැය යුද්ධය අවසන් කළ 2009 වසර සඳහා වූ රු. බිලියන 117 ට අනුපාතිකව යළි සකස්කර කරගත යුතුය.
  3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන ගනුදෙනු සහ එකඟ වන්නාවූ කොන්දේසි සියල්ල නිල වශයෙන් අත්සන් කිරීමට පෙර ජනතාව හමුවේ තැබිය යුතුය.
  4. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ද ඇතුළත් ජාතික කම්කරු උපදේශන සභාවෙහි වෘත්තීය සමිති හවුල විසින් සියලු දේශපාලන පක්ෂ වෙත යොමුකර ප්‍රසිද්ධියට පත්කර ඇති 21 වන සංශෝධනය නොපමාව සම්මත කළ යුතුය.
  5. පොලිස් දෙපාර්තමේන්තුව නියමාර්ථයෙන් ස්වාධීන සිවිල් දෙපාර්තමේන්තුවක් ලෙස තහවුරු කිරීමට අවශ්‍ය පියවර සමග එය සියලු අවසථාවන්හි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පමණක් තැබීමේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඇතුළු කළ යුතුය.
  6. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දෙසතියක් ඇතුළත අහෝසි කළ යුතුය.
  7. විද්‍යුත් සංඛ්‍යාත අයදුම්කරුවන්ගේ සියලු තොරතුරු සමග ඒවා ලබාදීමේ පදනම හා කොන්දේසි අදාල විකාශන බලපත්‍ර නිකුත් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ සහ මෙතෙක් නිකුත්කර ඇති විකාශන බලපත්‍ර සහ ඒවායේ හිමිකරුවන් සම්බන්ධ සියලු තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නීති සංශෝධන සම්මත කළ යුතුය.
  8. මැතිවරණ සඳහා ඉදිරිපත්වන සියලු අපේක්ෂකයින්ට ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුලේ වත්කම් හා බැරකම් ප්‍රකාශ නාම යෝජනා පත්‍ර සමගින් භාර දීම අනිවාර්ය කිරීමටත් තේරී පත්වන මන්ත්‍රීවරුන්ට එම වත්කම් හා බැරකම් ප්‍රකාශ වාර්ෂිකව භාර දීමටත් ඒ සියල්ල නොපමාව ප්‍රසිද්ධ කිරීමේ වගකීම මැතිවරණ කොමිසමට අනිවාර්ය කිරීමටත් එවගේම මධ්‍යම ආණ්ඩුවේ සහ පළාත් සභාවන්හි අමාත්‍යාංශවල ලේකම්වරුන්ද, ප්‍රධාන ගණකාධිකාරීවරුන්ද, රාජ්‍ය සේවාවේ සියලු වෘත්තිකයින්ද, ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ද ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුලේ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදීම අනිවාර්ය කිරීම සඳහා 1975 අංක 01 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ නීතිය අවශ්‍ය ලෙස සංශෝධනය කළ යුතුය.
  9. ලැබූ ආදායම් පිළිබඳ සියලු තොරතුරු සමග සිය වාර්ෂික අයවැය වාර්තා ද, තම මැතිවරණ අරමුදල් පිළිබඳ තොරතුරු සහිත වාර්තා ද, දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිසමට භාර දිය යුතු අතර එම වාර්තා නොපමාව ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය කෙරෙන අයුරු අදාල මැතිවරණ නීති සංශෝධනය කළ යුතුය.

නීති සම්පාදනය හා ප්‍රතිපත්ති සැකසීම සැමවිටම සමාජ කතිකා සමගින් සිදුවිය යුතු යැයි අපි තරයේ විශ්වාස කරන හෙයින් මෙහි ඉහතින් සඳහන් යෝජනා අතුරෙන් එවැනි යෝජනා සහ ඊළඟ ආණ්ඩු පාලනයේ විසඳුම් සැළැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම, අවම සති 04 ක කාලයක් සමාජ කතිකාවකට බඳුන් කළ යුතු අතර ඒ වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය විසින් දෛනිකව වැදගත් කාලයක් සහ ජන සහභාගීත්වයක් සංවිධානය කිරීමේ වගකීම ද ආණ්ඩුව භාර ගත යුතු යැයි අපි මෙයින් අවධාරණය කරමු.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ලංකා ජාතික වතු කම්කරු සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා නාවිකයින්ගේ සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, ලංකා වතු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ජාතික සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා කම්කරු සම්මේලනය