ප්‍රවාහන අර්බුදය නිසා සෞඛ්‍ය සේවාව බිද වැටීමේ වගකීම ආණ්ඩුව බාර ගත යුතුයි

ප්‍රවාහන අර්බුදය නිසා සෞඛ්‍ය සේවාව බිද වැටීමේ වගකීම ආණ්ඩුව බාර ගත යුතුයි

අත්‍යාවශ්‍ය ඖෂධ හා ජීවිතාරක්ෂක ඖෂධ විශාල ප්‍රමානයක් පවා හිගවී ඇති මේ මොහොතේ, ප්‍රවාහන ගැටලුව නිසා සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකි වීමෙන්, රෝගී ජීවිත වලට සිදුවිය හැකි හානිය පිළිබඳව සම්පූර්ණ වගකීම අර්බුද වලට නිසි විසදුම් ලබාදීමට අසමත් මෙම ආණ්ඩුව බාර ගත යුතු බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් දන්වා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පොදු ප්‍රවාහන සේවාව ඉතාමත් අකාර්ය්‍යක්ෂම වූ ශ්‍රී ලංකාව තුල සෑම දිනකම පැය 24 ම දින 365 පුරාවටම විවෘතව පවතින රෝහල් වෙත ඕනෑම මොහොතක පැමිණීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු සියළුම කාර්ය්‍ය මණ්ඩලය පාහේ තම පෞද්ගලික වාහන භාවිතා කරනු ලබයි. එමෙන්ම රෝහල තුල හෝ ආසන්නයේ නිල නිවාස පහසුකම් නොමැතිකම නිසාම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය්‍යමණ්ඩලයේ නිළධාරීන් තමන්ගේ නිවාස හෝ කුලී නිවාස වල සිට සේවයට පැමිණේ. මේ සඳහා ඉන්ධන අත්‍යාවශ්‍ය ප්‍රමාණයට අත්‍යාවශ්‍ය මොහොතේ මෙන්ම අවම වියදමකින් සපයා ගැනීමට පහසුකම් තිබිය යුතුය. නමුත් මේ වන විට ඉන්ධන වල අධික මිල සහ ඉන්ධන හිඟය නිසා බොහෝ නිළධාරීන් සේවයට  වාර්තා කල නොහැකි මට්ටමකට පත්ව තිබේ. එමෙන්ම රෝගීන්ටද බරපතල රෝගාබාධයකදී පවා රෝහල් කරා පැමිණීම වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සපයාගත නොහැකි වෙමින් තිබේ. මීට පිළියමක් ලෙස පොදු ප්‍රවාහන සේවාව කාර්‍යක්ෂම හා විධිමත් කිරීමට වරන් වර යෝජනා කලද මේ වනතෙක් කිසිදු ආකාරයේ ප්‍රමාණාත්මක පියවරක් ගෙන නැත.

ඉන්ධන සදහා ඉතා දිගු පෝලිම් නිර්මානය වී ඇති අතර ජනතාව එම පෝලිම් වල දින ගනන් ගත කරමින් සිටී. එසේම සෞඛ්‍ය සේවාව සඳහා යැයි කියමින් ආණ්ඩුව ඉන්ධන පිරවුම් හල් වෙත ලබාදෙන ඉන්ධන ප්‍රමාණය කිසිසේත්ම එම අවශ්‍යතාවයට පමණක් හෝ ප්‍රමානවත් නැත. එම නිසා සැළකිය යුතු සේවක මහත්ම මහත්මීන් පිරිසකට දින ගනනාවක් පෝලිමේ සිටද ඉන්ධන ලබා ගත නොහැකි වීම නිසා  රාජකාරියට වාර්තා කිරීමට අපොහොසත් වී ඇත. එසේම ඉන්ධන ලබාදීමට සතියකට එක් දිනක් පමණක් වෙන්කර තිබීම හේතුවෙන් එම දිනයේදී රාජකාරි පසෙක ලා  පෝලිම් වල සිටීමට ද අප නිළධාරීන්ට සිදුවී ඇත.

ප්‍රවාහනය යනු අප සැමගේ මූලික අවශ්‍යතාවක් වී ඇති අතර ඊට අවශ්‍ය මූලික අවශ්‍යතා ලබාදීම ඕනෑම ආණ්ඩුවක ප්‍රමුඛ වගකීමක් විය යුතුය. එහෙත්, මේ වන විට රෝගීන්ට තම මූලික අයිතිවාසිකමක් වූ සෞඛ්‍ය සේවාව ලබා ගැනීම සදහා පැමිණීමට නොහැකි වී ඇත. අපේ අනාගත පරම්පරාව වූ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙම ඉන්ධන අර්බුදය නිසා අඩාල වී දෙමාපියන් දැඩි පීඩනයක සිටී. එසේම විවිධ රැකියාවන්හි නියැලී තම දරු පවුල් නඩත්තු කල අති බහුතරයක් ජනතාව ඉන්ධන අර්බුදය හා බරපතල ආර්ථික කඩාවැටීම නිසා රැකියා අහිමි වී සමාජයක් ලෙස විශාල පීඩනකාරී තත්වයක් මතුවී ඇත. තත්වය මෙසේ තිබියෙදී, සෞඛ්‍ය සේවාව සදහා නමින් සෞඛ්‍ය සේවකයින් සදහාවත් ප්‍රමාණවත් නොවන ඉන්ධන ප්‍රමානයක් ලබාදීම නිසා, ඉන්ධන ලබා ගැනීමේදී සෞඛ්‍ය  සේවක මහත්ම මහත්මීන් හා ඉන්ධන ලබා ගැනීමට දින ගනන් පෝලිමේ සිටින ජනතාව අතර දිවයිනේ තැන් තැන් වල අවාසනාවන්ත ගැටුම් සහ විවිධ ගැටලු පැන නැගී ඇත.

මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලෙස ප්‍රමාණවත් තරම් ඉන්ධන සැපයුම ස්ථාපිත කිරීම අනිවාර්යයෙන් කලයුතු වුවත් ජනතාව තෙල් පෝලිම්වල හිර කර, රටේ ඇති සෙසු ප්‍රශ්න යටපත් කිරීමටත්, ජනතාව වෙතින් මතුවූ ආණ්ඩු විරෝධය වෙනත් දිශාවන්ට යොමු කිරීමටත්, එසේම අත්‍යාවශ්‍ය සේවාවන් සදහා ඉන්ධන ලබාදෙන බවට ප්‍රකාශ කරමින් එම සේවාවන් කඩා වැටීමේ චෝදනාවෙන් ගැලවීමටත් ආණ්ඩුව මේ මොහොතේ උත්සාහ කරමින් සිටින බව පෙනේ.

එහෙත්, යතාර්ථය නම්, ඉන්ධන හා ප්‍රවාහන අර්බුදය නිසා ලංකාවේ රෝහල් ගනනාවක්ම මේ වන විට වැසී ගොස් ඇති අතර, සෙසු රෝහල්වලද සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයේ නොපැමිණීම නිසා රෝගී සත්කාර සේවාවේද යම් යම් බිඳවැටීම් සිදුවී ඇත යන්නයි. එබැවින් පහත යෝජනා කෙරෙහි අවධානය යොමු කරවමු.

  1. රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි සැපයීමට කටයුතු කර ජන ජීවිතය පවත්වාගැනීමට අවශ්‍ය අවම සාධක වහාම සලසා දිය යුතුය.
  2. ඉන්ධන අර්බුදය විසදන තුරු, අත්‍යාවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවාව සදහා ප්‍රමාණවත් ඉන්ධන ලබා දීමට හා එම ඉන්ධන දිගු පෝලිම් වල නොසිට ලබාදෙන ක්‍රමවේදයක් වහාම සකස් කල යුතුය.
  3. පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කර එම සේවාව විශ්වාසනීය ලෙස ලබාගැනීමට අවශ්‍ය පියවර ගත යුතුය.
  4. එසේම, ප්‍රවාහන අර්බුදය පදනම් කරගනිමින් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ විට, එය නිළධාරීන්ගේ පුද්ගලික අඩුපාඩුවක් ලෙස සලකා පුද්ගලික නිවාඩු වලින් අඩු කිරීම, වැටුප් කප්පාදු කිරීම හෝ ඔවුන්ට එරෙහිව විවිධ  විනය ක්‍රියාමාර්ග ගැනීම වැනි ක්‍රියාමාර්ග නොගත යුතුය. එවැනි ක්‍රියාමාර්ග ගන්නේ නම්, සියළුම වෘත්තීය සමිති ලෙස ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවද අපි අවධාරණය කරමු.

එමෙන්ම අත්‍යාවශ්‍ය ඖෂධ හා ජීවිතාරක්ෂක ඖෂධ විශාල ප්‍රමානයක් පවා හිගවී ඇති මේ මොහොතේ, ප්‍රවාහන ගැටලුව නිසා සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකි වීමෙන්, රෝගී ජීවිත වලට සිදුවිය හැකි හානිය පිළිබඳව සම්පූර්ණ වගකීම අර්බුද වලට නිසි විසදුම් ලබාදීමට අසමත් මෙම ආණ්ඩුව බාර ගත යුතු බවද අපි අවධාරණයෙන් කියා සිටිමු.