ජාත්‍යන්තර කඩිනම් මැදිහත්වීමක් තරුණ ජනමාධ්‍යවේදීන් ඉල්ලීමක්

ජාත්‍යන්තර කඩිනම් මැදිහත්වීමක් තරුණ ජනමාධ්‍යවේදීන් ඉල්ලීමක්

රටේ ඇති වී තිබෙන මෙම බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, සියලුම දේශීය සහ ජාත්‍යන්තර සංවිධානවලින් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ආයතනවලින් ද ඉල්ලා සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ, ගාලු මුවදොර සාමකාමී අරගලයට හමුදාව ලවා පහරදීම සහ එම සිදුවීම ආවරණය කිරීමට ගිය ජනමාධ්‍යවේදීන්ට වධහිංසා පැමිණවීම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි දැඩි පිළිකුළෙන් හෙළාදකිමු.

ගාලු මුවදොර සාමකාමී අරගලයට පහරදීම ආරම්භ වූ බව සැලවූ මොහොතේ ම සහ ජනමාධ්‍යවේදීන්ට බාධා කරන බව සැලවූ මොහොතේම මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිතව සහ වාචිකව දැනුම් දුන් අතර, පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දෙමින් මෙම තත්ත්වය නතර කිරීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටියෙමු. මේ ගැන දැනුම් දීමට පොලිස්පතිවරයාගේ, පොලිස්පති මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පතිගේ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ජංගම දුරකතනවලට ඇමතුම් කිහිපයක් ලබා ගත්තද, ඔවුන් දුරකතනවලට ප්‍රතිචාර දැක්වූයේ නැත. මීට පෙර මැයි 09 වැනිදා සහ ඊටත් පෙර මාර්තු 31 වැනිදා සිදුවීම්වලදී ද මෙම නිලධාරීහු මේ ආකාරයට ම දුරකතනවලට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටියහ.

මේ වන විට වාර්තා වී තිබෙන ආකාරයට ජනමාධ්‍යවේදීන් සිව්දෙනෙකුට පහරදීම් සිදුවී තිබෙන අතර, දෙදෙනෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී මග දමා ගොස් තිබිණි. එසේම එම මාධ්‍යවේදීන් දෙදෙනා ඇතුළු පස්දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී හමුදා සෙබළුන් විසින් දණගස්වා කෘර වධහිංසාවට ලක්කර තිබේ. ඊට අමතරව සිදුවීම ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශය කරමින් සිටි කිහිප දෙනෙකුට ද හමුදාවෙන් පහර දී ඇත.

සාමකාමී අරගලකරුවන් රැසකට හමුදාව විසින් පහර දෙනු ලැබ ඇති අතර, ඉන් කිහිපදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දී තිබේ. ඒ බව පොලිසිය තහවුරු කරයි.

නීතිඥ නුවන් බෝපගේ මහතාට සහ නීතිඥ චාමර ඒ. ජයසිංහ මහතාට ද ගුවන් හමුදාව විසින් අමානුෂික ලෙස පහර දී තිබෙන අතර, නීතිඥ බෝපගේ මහතා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ගාලු මුවදොර ගෝඨාගෝගම සිටින තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා යෑමට පවා ඉඩ නොදී ආරක්ෂක අංශ එහි සියලු පිවිසුම් වසා දමා තිබේ. අද (22) උදෑසන 6.00 වන විටත් ජනමාධ්‍යවේදීන්ට මෙම සිදුවීම් ආවරණය කිරීමට ගාලු මුවදොරට යෑමට ඉඩ ලබා නොදුන් අතර, ඒ සඳහා අවසර ලබාගැනීමට උත්සාහ දරන ජනමාධ්‍යවේදීන්ට බැණ වැදීමේ අවස්ථා කිහිපයක් ද වාර්තා විය.

මෙය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ සහ ජනමාධ්‍යවේදීන්ගේ භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් රැසක් අමු-අමුවේ උල්ලංඝනය කිරීමකි.

මෙම සියලුම සිදුවීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් දැනුම්වත්ව සිදුවූ සිදුවීමක් බව අපි විශ්වාස කරමු. අද අලුයම සිදුවූ සියලු මැර ක්‍රියා අප සංගමය තරයේ හෙළා දකින අතර, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ප්‍රහාරයට අණ දුන් සහ සම්බන්ධ වූ හමුදාවේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි යුක්තිය පසිඳලීමට මැදිහත් වන ආයතනවලින් ඉල්ලා සිටිමු.

රටේ ඇති වී තිබෙන මෙම බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි, සියලුම දේශීය සහ ජාත්‍යන්තර සංවිධානවලින් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ආයතනවලින් ද ඉල්ලා සිටිමු.