සාමකාමී විරෝධතාවයට එල්ලවූ ප්‍රහාරයදී අත්අඩංගුවට ගත් ක්‍රියාදරයන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලයි

සාමකාමී විරෝධතාවයට එල්ලවූ ප්‍රහාරයදී අත්අඩංගුවට ගත් ක්‍රියාදරයන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලයි

ආණ්ඩුව විසින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමකාමී විරෝධයට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළාදකින ”වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව” අත්අඩංගුවට ගත් සියලු ක්‍රියාධරයන් වහාම නිදහස් කරන ලෙස රජයට බලකර මින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

  • වසන්ත මුදලිගේ, චින්තක රාජපක්ෂ වහා නිදහස් කරනු...
  • රනිල් - රාජපක්‍ෂ ආණ්ඩුවේ මර්ධනය පරදවමු...

ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්‍ෂ ආණ්ඩුව, ජනතාව පෙළමින් ගෙනයන මර්දනයේ දිගුවක් ලෙස, ඊයේ (18) දින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවූ සාමකාමී උද්ඝෝෂණයට පොලීසිය යොදා කඳුළු ගෑස්, ජල ප්‍රහාර වලින් නොනැවතී බැට්න් පොලු පහර එල්ලකරමින් බිහිසුණු, ම්ලේච්ඡ මෘග ප්‍රහාරයක් දියත් කරනු ලැබ ඇත.

එසේම එම විරෝධතාවය තුළදී  අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සමඟ සමාජ ක්‍රියාකාරී, පොදු දේපල හා මානව හිමිකම් මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය - මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ  ඇතුළු සහ තවත් ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

කිසිදු ජනවරමක් නොමැතිව ඊනියා ව්‍යවස්ථාවට මුවාවී අධිරාජ්‍යවාදීන්ගේ පිහිටෙන් රටේ බලය ඩැහැගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද මුළුමහත් සමාජ ක්‍රියාකාරිත්වය ම මර්ධනයෙන් යටකරන්නට ආරක්ෂක හමුදා, පොලීසිය සම මැර කණ්ඩායම් යොදා ගනිමින් සිටී.

රට සහ ජනතාව මුහුණදෙන සමාජ ආර්ථික පීඩනයට විසඳුම් සොයනවා වෙනුවට, රාජ්‍ය ආයතන විකුණා දැමීමට පිඹුරුපත් සකසමින් සිටන බව පැහැදිලිය. මෑතකදී  බි්‍රතාන්‍ය ”ද එකොනොමිස්ට්‘ සඟරාවට ප්‍රකාශයක් කරමින් තමන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමට සුදානම් වන බවත් එහිදී වෘත්තිය සමිති විරෝධය තමන් සැළකිල්ලට නොගන්නා බවත් වහසිබස් ප්‍රකාශකර තිබේ. දැනටමත් රාජ්‍ය ආයතන 40කට ආසන්න සංඛ්‍යාවක් විකිණීමට එළෙස සැලසුම් කර ඇති බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහගේ ඊනියා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මෘග, ම්ලේච්ඡත්වය විදහා දක්වමින්, වියරු පොලිස් ප්‍රහාරයන් හා හමුදාව මගින් සියලු ප්‍රජාන්ත්‍රවාදී උද්ඝෝෂණයන් මර්දනය කිරීමට ආණ්ඩුවේ ඇති සැලසුම, ඊයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමකාමී විරෝධතාවයට එල්ල කළ බිහිසුණු, මානව විරෝධී පොලිස් මැර ප්‍රහාරය මොනවට පැහැදිලි කරනු ලබයි.

ආණ්ඩුව විසින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමකාමී විරෝධයට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළාදකින ”වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව” අත්අඩංගුවට ගත් සියලු ක්‍රියාධරයන් වහාම නිදහස් කරන ලෙස රජයට බලකර කියා සිටී.

එසේම ප්‍රකාශනයේ නිදහසට බාධා කරමින් හා ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් බිඳ දමමින් රනිල් - රාජපක්‍ෂ ආණ්ඩුවේ වියරු පාලනය හා ආණ්ඩුව ගෙනයන මේ බිහිසුණු මර්ධනය වහාම පරාජය කිරීමට සියළු දේශපාලන, සිවිල්, බහුජන සංවිධාන වහාම එක්සත් ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් සංවිධානය කළයුතු බව ”වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව” යෝජනා කර සිටී.

වෘත්තීය සමිති හා බහුජන සංවිධානය වෙනුවෙන්,

ජෝසෆ් ස්ටාලින් - ලංකා ගුරු සංගමය

රන්ජන් සේනානායක - ලංකා බැංකු සේවක

ජේ. බී. ගුරුසිංහ - ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය      

දුමින්ද නාගමුව - කම්කරු අරගල මධ්‍යස්ථානය

සී. පී. ඇටිමොරතැන්න - තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය

නිශාන්ත වන්නිආරච්චි - ලංකා වතු සේවා සංගමය            

ඒ. ජී. යූ නිශාන්ත - ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය

සුනිල් ගමගේ - රාජ්‍ය හා පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය