රාජ්‍ය බැංකු කඩාවැටෙන්නේ දේශපාලන ඇඟලි ගැසීම හේතුවෙන්

රාජ්‍ය බැංකු කඩාවැටෙන්නේ දේශපාලන ඇඟලි ගැසීම හේතුවෙන්

රාජ්‍ය බැංකු පමණක් නොව රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ එම ආයතනවල කළමනාකරණයේ වරදින් බවත්, නිසි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වී ඇත්තේ දේශපාලනයේ වරදින් හා රාජ්‍ය ආයතනවලට දේශපාලන ඇඟිලි ගැසීම හේතුවෙන් බවත්, එම ආයතන අලාභ ලැබීමට හේතුවන මහා පරිමාණ වංචා දූෂණ සිදුවන්නේ දේශපාලන අනුග්‍රහයෙන් නිසා රාජ්‍ය බැංකු කොටස් විකිණීමේ යෝජනාවට කොන්දේසි විරහිතව විරුද්ධත්වය ප්‍රකාශ කරමින් එය පරාජය කිරීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කර සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් 2022 වසරේ ඉතිරි මාස 04 වෙනුවෙන් ආණ්ඩුවේ අය වැය යෝජනා (2022.08.30) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. වසරින් වසර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අය වැය යෝජනාවත්, අතුරු අය වැය යෝජනාවත් පිළිබඳව බොහෝ කාලයක් තිස්සේ අසා ඇති අප සංගමයට ඊයේ ජනාධිපති මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ අය වැය යෝජනා පිළිබඳවද විශේෂත්වයක් නොමැත. එහෙත් එමඟින් ඉදිරිපත් කරන ලද පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලික අංශයට පැවරීමත්, රාජ්‍ය බැංකුවල කොටස් විකිණීමත් පිළිබඳව අප සංගමයේ අවධානය දැඩිව යොමු වී ඇති බව සඳහන් කරමු.

රාජ්‍ය බැංකු කොටස් විකිණීම පිළිබඳ කථාන්දරය සංගමයට අලුත් දෙයක් නොවේ. මෙය 1980 දශකයේ සිටම වරින්වර අය වැය යෝජනාවලදීත්, ඉන් පරිබාහිරවත් විවිධ නම් වලින් හඳුන්වමින් කථිකාවට භාජනය වන මාතෘකාවකි. එයට නොයෙක් අවස්ථාවලදී පෞද්ගලිකකරණය, ප්‍රතිව්‍යූහගතකරණය, ජනතාකරණය ආදී නම් දේශපාලකයින් විසින් පටබැඳ තිබුණි. මෙම කුමන නම් වලින් හැඳින්වූවත් කාලාන්තරයක් තිස්සේ බලයට පැමිණි ආණ්ඩුවල අවශ්‍යතාවය වූයේ රාජ්‍ය බැංකු දේශීය හෝ විදේශීය පෞද්ගලික අංශය වෙත විකුණා දැමීමයි. ආණ්ඩුවල හිඟ අය වැය පරතරයන් පියවා ගැනීමේ පහසුම සහ එකම මග එය බව ඔවුන්ගේ පිලිගැනීම විය. ඩී.බී. විජේතුංග මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුවේදී “රාජ්‍ය බැංකු බංකොලොත්” යනුවෙන් වරක් ප්‍රකාශ කලේද රාජ්‍ය බැංකු විකුණා දැමීමේ කුමන්ත්‍රණයේ එක් පියවරක් වශයෙනි. එසේම විදේශීය ණය ලබාදීමේදී ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර ණය ඒජන්තයින් ඔවුන්ගේ ණය කොදේසිවලට මෙම කරුණ බොහෝ කල සිට ඇතුලත් කර තිබුණි. කෙසේ වෙතත්, ඒ හැම අවස්ථාවකදීම රාජ්‍ය බැංකු රාජ්‍ය අයිතියෙන් බැහැර කිරීමට ඉඩනොදී අරගල කර ජාතිය සතු සම්පත් වශයෙන් රැකගනු ලැබූවේ ලංකා බැංකු සේවක සංගමය විසිනි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදයකට ලක්වන සෑම අවස්ථාවකදීම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අත්වැල සැපයූවේ රාජ්‍ය බැංකු විසිනි. විශේෂයෙන්ම ලංකා බැංකුව සහ මහජන බැංකුව විසිනි. වර්තමානයේ මතු වී ඇති ආර්ථික අර්බුදය පිළිබඳ ප්‍රශ්නයේ දීද එය එසේමය. එම රාජ්‍ය බැංකු නොතිබෙන්නට මහජනතාව රෝග පීඩා විඳිමින් සාගින්නේ මිය ගොස් අවසාන වන්නට ඉඩ තිබිණි. එසේම එම රාජ්‍ය බැංකුවලින් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබාදී ඇති බිලියන ගණන් මුදල් කිසිම ආණ්ඩුවක් විසින් ආපසු බැංකුවලට ලබාදී නොමැත. එසේ තිබියදීත් එම රාජ්‍ය බැංකු ලාභ ලබමින් ක්‍රියාත්මක වේ.

රාජ්‍ය බැංකු පමණක් නොව කිසිදු රාජ්‍ය ව්‍යවසායයක් රජයේ අයිතියෙන් බැහැර කිරීමට අපි එකහෙළා විරුද්ධ වෙමු. එම ආයතන පාඩු ලබනවා නම් එසේ සිදුවන්නේ එම ආයතනවල කළමනාකරණයේ වරදිනි. නිසි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වී ඇත්තේ දේශපාලනයේ වරදිනි. රාජ්‍ය ආයතනවලට දේශපාලන ඇඟිලි ගැසීම හේතුවෙනි. එම ආයතන අලාභ ලැබීමට හේතුවන මහා පරිමාණ වංචා දූෂණ සිදුවන්නේ දේශපාලන අනුග්‍රහයෙනි. එබැවින් එහි වන්දිය මහජනතාවට ගෙවීම සැලසීමට අපි එක හෙළා විරුද්ධ වෙමු.         

මෙවර රාජ්‍ය බැංකු විකිණීම කරළියට පැමිණ ඇත්තේ රාජ්‍ය බැංකු කොටස්වලින් 20% ක අයිතිය සේවකයින්ටත්, ගණුදෙනුකරුවන්ටත් ලබාගැනීමට අවස්ථාව සලසන බව ප්‍රකාශ කරමිනි. මෙයද සංගමයට අලුත් කරුණක් නොවන්නේ මේ අයුරින්ම සේවකයන්ට කොටස් ලබාගැනීමට අවස්ථාව දෙන බව මින් පෙරද ප්‍රකාශ කර තිබූ බැවිනි. අප සංගමයේ සාමාජිකයින්ට හෝ සමස්ත බැංකු සේවක ප්‍රජාවට තම බැංකුවල කොටස් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බැවින්, එම යෝජනා කොන්දේසි විරහිතව ප්‍රතික්‍ෂේප කරමින් අරගල කොට පැරදවූ ඉතිහාසයක් අප සංගමයට ඇත. එසේම ගණුදෙනුකරුවන් කවුරුද යන්න කුමන තැනකදීවත් අර්ථ දක්වා නොමැත.

කෙසේ වෙතත්, මුලදී 20% ක් යන්නට ඉඩ දුනහොත් එය පසුවදී 100% ක් වීමටද ඉඩ නැතුව නොවේ. ලංකාවේ දේශපාලන කපටිකම් අප සංගමයට හොඳින් හුරු පුරුදුය. එබැවින්, මෙම තත්වයන් යටතේ මෙවරද ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති රාජ්‍ය බැංකු කොටස් විකිණීමේ යෝජනාවට කොන්දේසි විරහිතව විරුද්ධත්වය ප්‍රකාශ කරමින් එය පරාජය කිරීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර සිටිමු.