අරක්කු සමාගම්වල ගජ මිතුරු හොරුන්ව රකින්න මහජනතාවගේ බදු වැඩි කරන අය වැයක්

ravi-kumudesh

ජිවත් වෙන්න ක්‍රමයක් විතරක් නෙවේ, මැරෙන්න පවා ක්‍රමයක් නැති මිනිස්සුන්ගේ VAT බද්ද ආණ්ඩු වැඩි කරලා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති මිනිස්සුන්ට 25% බදු වැඩිවීමක් ගෙවන්නේ කොහොමද කියලත් ආණ්ඩුව කියන්න වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේස් මහතා මාධ්‍ය හමුවකදී අතුරු අයවැය පිළීබඳ අදහස් දැක්වීමේදී ප්‍රකාශ කරන ලදි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින්, රාජ්‍ය බැංකු 8% - 10%ට තිබුණු බැංකු.පොලිය, 20% දක්වා වැඩි කරලා. පනස්දාහක ණය වාරිකයක් ගෙවපු රාජ්‍ය සේවකයෝ කොහොමද ලක්ෂයක් ගෙවන්නේ. ගෙල වැලදා ගත්ත මිනිස්සුන්ගේ මල විකුණලා තමයි බැංකුවලට ඔය කියන වාරික ගන්න වෙන්නේ.

අපි ඔය කියන විදිහට බදු ගෙව්වත් බැංකු රැකෙයිද. බදු වංචා කරපු, බැංකු වලට පොලු තියපු කුප්‍රකට මහ බැංකු හොරකමට සම්භන්ධ අරක්කු සමාගමක්, ණය බොල් ණය කරලා, බදු වංචාව ඒ විදිහටම තියාගෙන, හෙට අනිද්දාට ආයෙත් අරක්කු හදන්න යනවා. සියළුම වැරදි වලට ජනාධිපති සමාව ලැබිලා, බලපත්‍රය ආයේ දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ට රුපියල් බිලියන 1.6ක් ගෙවන්න තියනවා. සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියයන 1.2ක බදු වංචා කරලා තියනවා.

ලංකා බැංකුවට බිලියන 3ක ණයක් ගෙවන්න තියනවා. මහජන බැංකුවට බිලියන  5ක්. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් එකට බිලියන 2ක්. පීපල්ස් ලීසිං බැංකුවට මිලියන 400ක්.

යාළු හොරුන්ගේ එක සමාගමක් නඩත්තු කිරීම සදහා බදු වංචාව 2.8ක්. බැංකු වලට  කරපු වංචාව බිලියන10.4ක්. සාමාන්‍ය මිනිස්සු වැට් වැඩි කරලා ගෙවන්න ඕනේ රටේ ආර්ථිකය හදන්නද, නැත්තං මේ ගජ මිතුරු හොරුන් නඩත්තු කරන්නද? අපි ගත්ත ණය දෙගුණ කරලා ගෙවන්න ඕනේ බැංකු රකින්නද, එහෙම නැත්තං ‍යාලුවන්ගේ අරක්කු සමාගම් බැංකු වලින් හිස් කරපු ණය පුරවන්නද කියලා අපිට ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්ණ කරන්න වෙන බව රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලේය.