ළමා මන්දපොෂණය අවම කරගැනීමට වෛද්‍ය සංගමය යෝජනා ඉදිරිපත් කරයි

ළමා මන්දපොෂණය අවම කරගැනීමට වෛද්‍ය සංගමය යෝජනා ඉදිරිපත් කරයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ වඩාත් තිව්‍ර වෙමින් ඇති ළමා මන්දපෝෂණය හරහා අනාගතයට සිදුවන දරුණු හා අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සය වැදෑරුම් යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන්නේ, පවතින ආර්ථික අර්බුදය ජන ජිවිතයට සිදු කර ඇති බලපෑම සුලු පටු නොවන අතර, දිනෙන් දින ඉහළ යන ආහාර උද්ධමනය පොදු ජනතාවට දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත. අඩු ආදායම්ලාභි ප්‍රජාවට මේ හරහා ඇති වන බලපෑම අති විශාලය.

පවතින අර්බුදය තුල තම පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීම පිළිබඳව ජනතාවගෙන් අති බහුතරයකට ගත හැකි ප්‍රධාන තීරණ දෙකකි.

  • ආහාර වේල් ගණන අඩු කිරීම හා ප්‍රමාණාත්මකව ලබාගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීම
  • ආහාර වේලකට යන වියදම අඩු කර ගැනීම සඳහා ආහාරයේ ගුණාත්මක බව අඩු කර ගැනීම.

මේ සියල්ල හරහා මඟ පාදනුයේ මන්දපෝෂණ තත්ත්වයකට බව පැහැදිලිය.

මන්දපෝෂණයේ ප්‍රධානම බලපෑම එල්ලවිය හැක්කේ ළදරුවන්ට හා ළමුන්ට බව අවිවාදිතය. මීට අමතරව ගර්භනි මව්වරුන් අරභයාද විශේෂිත අවදානම් තත්ත්වයක් මතුව පවතියි.

අනාගතයේ ශ්‍රම බලකාය බවට පත් වීමට සිටින අද දවසේ ළමා පරපුර මන්දපෝෂණයට ගොදුරු වීම සමස්ථ රටේ ඉදිරි ගමන පිළිබඳව අදුරු චිත්‍රයක් මවා පායි. එබැවින් ළදරු හා ළමා මන්දපෝෂණ තත්ත්වයන් ඉහළ යාම හරහා රටේ අනාගතය කෙරෙහි සිදු කරන බලපෑම තීරණාත්මකය.

යුනිසෙෆ් (UNICEF) සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන ගණනාවක්ද මේ වන විටත් මතු වෙමින් පවතින භයානක තත්ත්වය පිළිබඳ අනතුරු හඟවා ඇත.

ඔවුන් පෙන්වා දෙන පරිදි රටේ සමස්ථ ජනගහනයෙන් මිලියන 5.7 ක් ආහාර අර්බුදයේ ඍජු බලපෑමට ලක්ව සිටියි. ඒ අතර මිලියන 2.3 ක ළමා ජනගහනයක් සිටීම කෙරෙහි විශේෂ අවධානයක් ලබා දිය යුතුමය.

යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ ඇස්තමේන්තුව අනුව හදුනාගෙන ඇති අවදානම් කණ්ඩායම් සඳහා සහන සැලසීමට දල වශයෙන් ඩොලර් මිලියන 25 ක ප්‍රතිපාදන අවශ්‍ය වෙයි.

ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන පරිදි දකුණු ආසියාව තුල මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දෙවැනි වනුයේ ඉන්දියාවට පමණි.

පවතින අවදානම් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සංගමයක් ලෙස බලධාරීන් වෙත පහත සය වැදෑරුම් වැඩපිළිවෙල යෝජනා කරමු.

  1. ගුණාත්මක හා පෝෂ්‍යදායි ආහාරයක් තෝරා ගැනීම පිළිබඳව වූ මුලික දැනුම සමාජය වෙත ලබා දීමේ ජාතික වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් වහාම ඉදිරිපත් විය යුතුය. සාපේක්ෂව මිල අඩු ආදේශක ආහාර පිළිබඳවත්, ගුණාත්මක ප්‍රෝටින්මය ආහාර ප්‍රභව හඳුන්වා දීම කෙරෙහිත් මෙහිදි විශේෂ අවධානය යොමු විය යුතුය.
  2. පලාත්, දිස්ත්‍රික් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමින් අවදානම් කණ්ඩායම් හදුනා ගැනීම පිණිස නිවැරදි සමීක්ෂණයක් සිදුවිය යුතු අතර හදුනාගන්නා අවදානම් කණ්ඩායම් ඉලක්ක කරගත් ප්‍රායෝගික මැදිහත්වීම් සඳහා වහාම වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත්විය යුතුය.
  3. ළදරු, ළමා කණ්ඩායම් හා ගර්භණි මව්වරුන් අතර සිටින අඩු ආදායම්ලාභි කණ්ඩායම් වෙත ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් සහිත පෝෂණ මල්ලක් ඇතුලත් සහන පැකේජයක් වහාම හදුන්වා දිය යුතුය.
  4. පවතින අර්බුදකාරි තත්ත්වය තුල සහන සැලසිමට මුවාවෙමින් සෞඛ්‍ය ආරක්ෂිත නොවන හා අනාගතයේදි දියවැඩියාව ඇතුලු බෝ නොවන රෝග සඳහා ඇති අවදානම ඉහල නංවන ආහාර වර්ග ප්‍රවර්ධනය කිරීම සීමා කිරීමට නිවැරදි තාක්ෂණික මැදිහත්වීමක් සහිතව කටයුතු කළ යුතුය.
  5. පාසල් දරුවන් ඉලක්ක කරගත් පාසල් දිවා ආහාර වැඩසටහන වඩාත් ශක්තිමත් හා ප්‍රායෝගික වැඩසටහනක් බවට පත්කර අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුය.
  6. සමස්ත ආහාර අර්බුදය කලමණාකරණය කර ගනිමින් මන්දපෝෂණය ළමා පරපුර කෙරෙහි ඇති කරන අනාගත බලපෑම අවම කිරීම සඳහා අන්තර් පාර්ශ්වික සහභාගිත්වය සහිත විශේෂිත ජනාධිපති කාර්යසාධක බලකායක් වහාම ස්ථාපිත කළ යුතුය.

බලධාරීන් මේ සම්බන්ධයෙන් ගන්නා සාධනීය උත්සාහයන් සඳහා සංගමයක් ලෙස අප හට ලබා දිය හැකි උපරිම සහයෝගය කොන්දේසි විරහිතව ලබා දීමට ප්‍රතිඥා දෙමු.