රාජ්‍ය සේවකයන්ගේ හැටෙන් විශ්‍රාම යැවීම ඉතාම හොඳයි

රාජ්‍ය සේවකයන්ගේ හැටෙන් විශ්‍රාම යැවීම ඉතාම හොඳයි

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යැවීමේ අනිවාර්ය වයස වයස 60 දක්වා අඩු කිරීම ප්‍රශස්ත ක්‍රියාවලියක් ලෙස අපි විශ්වාස කරන අතර, රට මුහුණ දී සිටින දරුණු සමාජ ආර්ථික දේශපාලන පරිහානිය සඳහා දේශපාලන අංශ මෙන්ම අවම වශයෙන් පසුගිය වසර 30 ක කාල සීමා මුළුල්ලේම රාජ්‍ය සේවය තුළ සිදු වූ අඩුලුහුඩුකම් ද අඩු වැඩි වශයෙන් වගකිව යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දැනටමත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදීම සඳහා දක්ෂ, වෘත්තීය නිපුණතාවය ,කුසලතා සහ නව අදහස් වලින් යුක්ත තරුණ රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටින නමුත් ඔවුන්ට රාජ්‍ය සේවය මර්මස්ථාන වල සිට ප්‍රතිපත්ති සම්පාදන කාර්යයන් සඳහා දායක වීමට පවතින අඩු අවස්ථාවන් නිසා බොහෝ ලෙස කලකිරීමට පත් ව කටයුතු කරන බවත් තවත් කොටසක් රට හැර යන බවත් ඉතා පැහැදිලි ව පෙනෙන්නට තිබේ.

නූතන විද්‍යාව හා තාක්ෂණයෙන් ද රටට ගැලපෙන නවෝත්පාදක ආර්ථීක ක්‍රමෝපායන් පර හා රාජ්‍ය සේවයේ තම තමන්ගේ අමාත්‍යාංශ විෂයපථයන් නවතාවයකින්  වෙනස් කිරීමට හැකියාවක් පවතින තරුණ නිලධාරීන් දැන් රාජ්‍ය සේවය භාර ගත යුතුව ඇත.

සෞඛ්‍ය සේවයේ ද බොහෝ තරැණ විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘතිකයන් නව දැනුම කුසලතා හා ආකල්ප වලින් ක්‍රමානුකූලව සන්නද්ධ වන නමුත් එම තරුණ නිලධාරීන්ට බොහෝවිට සෞඛ්‍ය සේවයේ මර්මස්ථාන වලට පැමිණීමට පවතින නොහැකියාව නිසා පෙර සඳහන් කළ පරිදි ම දැඩි කලකිරීමකින් යුක්තව රාජ්‍ය සේවය හැර යාම හෝ පෞද්ගලික අංශයට එකතු වීම හෝ විදේශ සේවාවන් සඳහා එකතු වීම හෝ සීඝ්‍රයෙන් සිදු වෙමින් පවතී.

මේ තත්වය සලකා බලා රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී පවතින අවස්ථාවකදී නව තරුණ ජවය සමඟ රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය කිරීම සඳහා අයවැය යෝජනාවක් ලෙස රජය විසින් වයස අවුරුදු 60ට වැඩි සියලු රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම ගැන්වීමට තීරණය ඉතා සුබදායී හා යහපත් සමාජ පරිවර්තනයකට හේතුවනු ඇතැයි අපි විශ්වාස කරමු.

එම තීරණය නිසා අධ්‍යාපන ,සෞඛ්‍ය කෘෂිකර්ම ,රාජ්‍ය පරිපාලන ආදී බොහෝ අමාත්‍යාංශ වල සේවාවන් කඩා වැටිය හැකි බවට ඇතැම් කණ්ඩායම් විසින් ගෙන යන මතය අප බැහැර කරමු. මෙම මොහොතේ දී එකී සියළු අමාත්‍යංශවල විෂයපථය කිසිදු බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමේ වගකීම ඒ ඒ අමාත්‍යාංශ වල තරුණ නිලධාරීන්ට පැවරීම මේ මොහොතේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකීමකි.

එබැවින් අයවැය යෝජනාවලින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි වයස අවුරුදු 60ට වැඩි සියලු රාජ්‍ය නිලධාරීන් ශ්‍රේණි පන්ති හෝ විෂය භේදයකින් තොරව විශ්‍රාම ගැන්වීමට ගෙන ඇති තීරණය නැවත වෙනස් කළ යුතු නොමැති බව අප වෘත්තීය සමිති ව්‍යාපාරය මතයයි.

එහෙත් මෙමගින් අපගමනය වන අවස්ථා පවතින්නේ නම් ඒ සම්බන්ධව සාධාරණීකරණය කිරීමට ලක්ව ඉතා සුළු වශයෙන් අදාල අවස්ථා අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහ මුදල් අමාත්‍යාංශයේ නිසි අගයීමට ලක් කිරීමෙන් පසුව පමණක් ලබාදීමට යෝජිත වේ. එසේ නොමැතිව මෙම තීරණය  කීපදෙනෙකුගේ බලපෑමකට යටත්ව යළි වෙනස් කිරීමට කටයුතු කිරීම රාජ්‍ය සේවය බිඳ වැටීම තවත් වැඩි වර්ධනය කරනු ඇත.

ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි දැනටමත් රාජ්‍ය සේවය ඉහළම නිලධාරීන් අටසියයක් පමණ ප්‍රමාණයක් නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව වැයවන මුදල කෝටි 80 ද ඉක්මවා ඇති බව සඳහන් වන තත්වයක් යටතේ ඊට වඩා වැඩි කාර්යක්ෂමතාවක් සහ ඵලදායිතාවක් රාජ්‍ය  සෙවයක්  ලබාදීම සඳහා දැනට සිදුකරන රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානයක් වඩා සාධාරණ හා තරුණ අදහස් වලින් සන්නද්ධව ඉටු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අවධානය යොමුවනු ඇතැයි අපි විශ්වාස කරමු.

තවද දේශපාලන පක්ෂ භේදයකින් තොරව සුදුසුකම් සහිත දක්ෂ තරුණ නිලධාරීන්ට රාජ්‍ය සේවයේ ප්‍රමුඛතාවය ලබා දීමෙන් තොරව 2048 වනවිට සංවර්ධන රටක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම බොහෝ බාධාකාරී වනු ඇත.

එබැවින් රාජ්‍ය සේවයේ පුළුල් ප්‍රතිසංවිධාන සඳහා අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර ඇති කරුණු වඩා ඵලදායි තත්ත්වයන්ට පත් කර ගැනීම සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අප සහයෝගය ලබාදෙන බව සඳහන් කරනු කැමැත්තෙමු.