සෞඛ්‍ය පද්ධතියේ වර්තමාන අභියෝග පිළිබඳ වෛද්‍ය සංගමය කියයි

සෞඛ්‍ය පද්ධතියේ වර්තමාන අභියෝග පිළිබඳ වෛද්‍ය සංගමය කියයි

රට තුල තවදුරටත් රැදි සිටින බහුතරයක් වූ වෛද්‍ය ප්‍රජාව වෙත රට තුල තවදුරටත් රැදි සිටීම ධෛර්යමත් කරන දිරිගැන්විමේ යාන්ත්‍රණයක්ද වහාම ප්‍රකාශයට පත්කළ යුතු බවත්, පහත දැක්වෙන ත්‍රිත්ව අභියෝග ජය ගැනීම සඳහා තිරසාර විසඳුම් ඔස්සේ නිසි මඟ හෙලි පෙහෙලි කර ගැනීමකින් තොරව සෞඛ්‍ය පද්ධතියේ ඉදිරි තීරණාත්මක බිඳ වැටීමක් වළක්වා ගත නොහැකි බව යලි යලිත් පෙන්වා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර අවධාරණය කර සිටියි.

එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා සිටින්නේ,

  1. ඖෂධ අර්බුදය
  2. පෝෂණ ගැටලුව
  3. වෛද්‍යවරුන් රට හැර යාම

සෞඛ්‍ය පද්ධතිය තුල වර්තමානය වන විට මතුව ඇති ඉහත ත්‍රිත්ව අභියෝගයන් පිළිබඳ අපි පසුගිය කාලය තුල දිගින් දිගටම අනතුරු ඇඟවුයෙමු. එමෙන්ම එම අභියෝග ජය ගැනීම සඳහා වූ අපගේ යෝජනාද බලධාරීන් වෙත ඉදිරිපත් කලෙමු.

I. ඖෂධ අර්බුදය

අකාර්යක්ෂමතාවයත්, දුෂණ හා අක්‍රමිකතාවයන් සඳහා ඇති අසාමාන්‍ය ඉඩකඩත් ඔස්සේ නිර්මාණය වු වත්මන් ඖෂධ අර්බුදය මේ මොහොතේ හෝ කලමණාකරණය කිරීම බලධාරීන් සතු අත්හල නොහැකි වගකීමකි.

ඒ සඳහා වන දස වැදෑරුම් යෝජනා මාලාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස මේ වන විටත් ඉදිරිපත් කර හමාරය. (ඇමුණුම I)

තවදුරටත් ගැටලුව සඟවා තබා ගත නොහැකි මට්ටමකට අර්බුදය ඔඩු දුවා ඇති පසුබිමක මේ සඳහා වන තාක්ෂණික මැදිහත්වීම් හරහා වහා ක්‍රියාත්මක වන ලෙස අප බලධාරින්ට අවධාරණය කරමු.

II. පෝෂණ ගැටලුව

වර්තමානයේ මතුව ඇති සමාජ ආර්ථික අර්බුදය හමුවේ සමස්ථයක් ලෙස තිව්‍ර වී ඇති පෝෂණ ගැටලුව පිළිබඳ බලධාරීන්ගේ අවධානය අප විසින් යොමු කරන ලද්දේ ‍මීට ‍මාස කිහිපයක සිටය.

විශේෂයෙන්ම ළදරු ළමා කාණ්ඩ වලට හා ගර්භනි මව්වරුන් ඇතුලු හඳුනාගත් අවදානම් කණ්ඩායම් වලට ඉලක්කගත හා ඵලදායි මැදිහත්වීම් සිදුකරන ලෙස අවධාරණය කරන ලදී.

මේ පිළිබඳ අප සංගමයේ යෝජනා මේ වන විටත් සමාජගත කර හමාරය. (ඇමුණුම II)

අප විසින් ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනාවක් වනුයේ අන්තර් පාර්ශවීය සහයෝගිතාව සහතික කරන ජනාධිපති කාර්ය සාධක බලකායක් වැනි යාන්ත්‍රණයක් වහාම ස්ථාපිත කිරීමයි. 

ඒ අනුව ඊයේ දිනය තුල අතිගරු ජනාධිපතුමා විසින් අපගේ යෝජනා වලට සමාන යාන්ත්‍රණයක් පෝෂණ හා ආහාර ගැටලුව විසඳීම අරමුණු කරගනිමින් ස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස බෙහෙවින් අගය කරමු.

ඒ සඳහා අපගේ කොන්දෙසි විරහිත සහයෝගය නැවත සපථ කරමු.

III. වෛද්‍යවරුන් රට හැර යාම

විදේශ විනිමය අර්බුදයක සිටින මොහොතක වෛද්‍යවරුන් විදේශ රැකියා වලට යොමු කිරීම මේ මොහොතේ ඉතා වැදගත් සාධකයක් බව බැහැර කළ නොහැක.

කෙසේ නමුත් මෙය සිදුවිය යුත්තේ පාලිත තත්ත්වයන් යටතේය. ඒ සඳහා මේ වන විට නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ චක්‍රලේඛයට අනුකූලව අභ්‍යන්තර යාන්ත්‍රණයක් සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් සකස් විය යුතුය.

එය චක්‍රලේඛයක් ලෙස නිකුත් වීම ප්‍රමාද වීම හරහා සෞඛ්‍ය පද්ධතියට වන ඍණාත්මක බලපෑම බැහැර කළ නොහැක. නිශ්චිත ක්‍රමවේදයක් සහ නියාමනයක් නොමැති තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනයකින් තොරව වෛද්‍යවරුන් රට හැර යාම දිනපතා සිදුවෙමින් පවති.

අප විසින් සිදුකළ සමීක්ෂණයට අනුව මේ වසරේ ගෙවි ගිය මාස 8 තුල පමණක් විදේශගත වු වෛද්‍යවරුන් ගණන 500 කට ආසන්නය. මින් සැලකිය යුතු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනයකින් තොරව විදෙස් ගත වී තිබිම සෞඛ්‍ය පද්ධතියේ ඉදිරි කඩා වැටීමක් පිළිබඳ අනතුරු අගවයි.

ඒ අනුව මේ සඳහා වන විධිමත් ක්‍රමවේදයක් වහාම ප්‍රකාශයට පත් කරන අතරතුර රට තුල තවදුරටත් රැදි සිටින මානසිකත්වයෙන් කටයුතු කරන බහුතරයක් වූ වෛද්‍ය ප්‍රජාව වෙත රට තුල තවදුරටත් රැදි සිටීම ධෛර්යමත් කරන දිරිගැන්විමේ යාන්ත්‍රණයක්ද වහාම ප්‍රකාශයට පත්කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අවධාරණය කරමු.

ඒ අනුව මේ මොහොතේ අප විසින් පෙන්වා දී ඇති ඉහත දැක්වු ත්‍රිත්ව අභියෝග ජය ගැනීම සඳහා තිරසාර විසඳුම් ඔස්සේ නිසි මඟ හෙලි පෙහෙලි කර ගැනීමකින් තොරව සෞඛ්‍ය පද්ධතියේ ඉදිරි තීරණාත්මක බිඳ වැටීමක් වළක්වා ගත නොහැකි බව යලි යලිත් පෙන්වා දෙමු.

රටේ පවතින වත්මන් ඖෂධ අර්බුදය පිළිබද අධ්‍යයනය කර වාර්තා කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පත්කළ තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කළ දස වැදෑරුම් විසදුම් යෝජනා.

ඒ අනුව පවතින තත්ත්වය නිවැරදි කිරීම සදහා ක්‍රියාත්මක කළ යුතු කෙටි කාලීන හා මධ්‍ය කාලීන යෝජනා 10 ක් තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කර ඇත.

  1. ඖෂධ සැපයිමේ ක්‍රියාවලියට ඍජු ලෙස සම්බන්ධිත සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්, මධ්‍යම ඖෂධ ගබඩාව, ඖෂධ සංස්ථාව, ඖෂධ නිශ්පාදන සංස්ථාව හා ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනික ව්‍යුහයන් අතර නිසි සම්බන්ධිකරණය සහතික කරන විධිමත් යාන්ත්‍රණයක් සෞඛ්‍ය අමාත්‍යංශය තුල වහාම ස්ථාපිත කළ යුතුය. මෙම ඉහළ පෙලේ සම්බන්ධිකරණ කමිටුව සෞඛ්‍ය ලේකම්වරයා හෝ ඔහුගේ නියෝජිතයකුගේ ප්‍රධානත්වයෙන් මාසිකව රැස් වී පවතින තත්ත්වයන් සමාලෝචනය කළ යුතුය.ත්‍රෛමාසිකව අදාල තොරතුරු කමිටුව මගින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීන්දු තීරණ වලට පහසුකම් සැපයිය යුතුය.
  2. ඖෂධ සැපයීමේ ක්‍රියවලිය තුල ටෙන්ඩර් පටිපාටිය ඇතුලු සමස්ථ ක්‍රියාවලිය ඕනෑම පුරවැසියකුට නිරීක්ෂණය කළ හැකි පරිදි පාරදෘශ්‍ය ක්‍රියාවලියක් හරහා තහවුරු කළ යුතුය.
  3. ඖෂධ තොග කළමණාකරණය කිරීම හා කාර්යක්ෂම ලෙස බෙදා හැරීම සදහා වන පරිඝණක මෘදුකාංගය යාවත්කාලීන කොට අඛණ්ඩව පවත්වා ගත යුතුය.
  4. ඖෂධ සැපයුම් ක්‍රියාවලියට අදාල පසුගිය වසර 5 ක විගණන වාර්තා අධ්‍යයනය කොට ඒවායේ සදහන් නිශ්චිත නියමිත කාල රාමුවක් තුල ක්‍රියාත්මක කිරීම සදහා පුර්ණ බලැති කමිටුවක් පත් කළ යුතුය. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව අනෙකුත් පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගත යුතුය.
  5. පසුගිය ජනාධිපති කොමිෂන් සභා වාර්තා සමාලෝචනය කොට, නම් කොට ඇති වගඋත්තරකරුවන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ හා අල්ලස් පනත යටතේ දඩුවම් කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය. ඒ හරහා චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් දැනටමත් ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය තුල යම් තනතුරු දරයි නම් ඒ අය වහාම එම තනතුරු වලින් ඉවත් කළ යුතුය.
  6. ඖෂධ මාෆියාවේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් වන හදිසි මිලදි ගැනිමේ ක්‍රියාවලිය තුල සිදු වන අක්‍රමිකතාවයන් හදුනාගෙන, මිල පරාසයන් අවම මට්ටමක පවත්වා ගෙන හදිසි මිලදි ගැනිම් සිදු කිරීමට හැකි උපරිම උත්සාහ කළ යුතුය. අදාල කටයුතු මාසිකව සමාලෝචනය කොට ප්‍රසිද්ධියට පත් කළ යුතුය.
  7. පර්යන්තය වෙත ඖෂධ බෙදාහැරීම සදහා වන විකල්ප ප්‍රවාහන මාධ්‍යයන් හදුනාගෙන ක්‍රියාත්මක කළ යුතුය. එහිදි ඖෂධ ප්‍රවාහනයේදි සැපිරිය යුතු සුවිශේෂි අවශ්‍යතාවයන් හදුනාගෙන කටයුතු කළ යුතුය. (උදා - පොදු ප්‍රවාහනය, දුම්රිය සේවය වෙනස්කම් සහිතව භාවිතා කිරීම)
  8. දෙස් විදෙස් පරිත්‍යාග ලෙස ලැබෙන ඖෂධ තොග නිසි ලෙස සම්බන්ධිකරණය කිරීම සදහාත්, පරිත්‍යාගශීලින්ට නිසි මගපෙන්වීම ලබා දීම සදහාත් ‘තොරතුරු කවුලුවක්’ සෞඛ්‍ය අමාත්‍යංශය තුල වහාම ස්ථාපිත කළ යුතුය.
  9. ඖෂධ නියාමන අධිකාරියේ පවතින පුරප්පාඩු නියමිත පටිපාටින් අනුගමනය කරමින් කඩිනමින් සම්පූර්ණ කළ යුතුය. ඖෂධ නියාමන අධිකාරියේ මේ වන විට අකර්මන්‍ය තත්ත්වයට පත්ව ඇති අනුකමිටු සක්‍රිය කර පවත්වා ගත යුතුය.
  10. රෝගී ජනතාවට දැරිය නොහැකි තරම් ඉහළ ගොස් ඇති ඖෂධ මිල පාලනය කිරීම සදහා කඩිනම් වැඩ පිළිවෙලක් වහාම ප්‍රකාශයට පත් කළ යුතුය. එළඹෙන අතුරු අයවැය හරහා ඒ සදහා වන සහන වැඩපිළිවෙලක් එළිදැක්විය යුතුය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ වඩාත් තිව්‍ර වෙමින් ඇති ළමා මන්දපෝෂණය හරහා අනාගතයට සිදුවන දරුණු හා අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සය වැදෑරුම් යෝජනා මාලාවක්.

  • ගුණාත්මක හා පෝෂ්‍යදායි ආහාරයක් තෝරා ගැනීම පිළිබඳව වූ මුලික දැනුම සමාජය වෙත ලබා දීමේ ජාතික වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් වහාම ඉදිරිපත් විය යුතුය. සාපේක්ෂව මිල අඩු ආදේශක ආහාර පිළිබඳවත්, ගුණාත්මක ප්‍රෝටින්මය ආහාර ප්‍රභව හඳුන්වා දීම කෙරෙහිත් මෙහිදි විශේෂ අවධානය යොමු විය යුතුය.
  • පලාත්, දිස්ත්‍රික් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමින් අවදානම් කණ්ඩායම් හදුනා ගැනීම පිණිස නිවැරදි සමීික්ෂණයක් සිදුවිය යුතු අතර හදුනාගන්නා අවදානම් කණ්ඩායම් ඉලක්ක කරගත් ප්‍රායෝගික මැදිහත්වීම් සඳහා වහාම වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත්විය යුතුය.
  • ළදරු, ළමා කණ්ඩායම් හා ගර්භණි මව්වරුන් අතර සිටින අඩු ආදායම්ලාභි කණ්ඩායම් වෙත ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් සහිත පෝෂණ මල්ලක් ඇතුලත් සහන පැකේජයක් වහාම හදුන්වා දිය යුතුය.
  • පවතින අර්බුදකාරි තත්ත්වය තුල සහන සැලසිමට මුවාවෙමින් සෞඛ්‍ය ආරක්ෂිත නොවන හා අනාගතයේදි දියවැඩියාව ඇතුලු බෝ නොවන රෝග සඳහා ඇති අවදානම ඉහල නංවන ආහාර වර්ග ප්‍රවර්ධනය කිරීම සීමා කිරීමට නිවැරදි තාක්ෂණික මැදිහත්වීමක් සහිතව කටයුතු කළ යුතුය.
  • පාසල් දරුවන් ඉලක්ක කරගත් පාසල් දිවා ආහාර වැඩසටහන වඩාත් ශක්තිමත් හා ප්‍රායෝගික වැඩසටහනක් බවට පත්කර අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුය.
  • සමස්ත ආහාර අර්බුදය කලමණාකරණය කර ගනිමින් මන්දපෝෂණය ළමා පරපුර කෙරෙහි ඇති කරන අනාගත බලපෑම අවම කිරීම සඳහා අන්තර් පාර්ශ්වික සහභාගිත්වය සහිත විශේෂිත ජනාධිපති කාර්යසාධක බලකායක් වහාම ස්ථාපිත කළ යුතුය.