අලි මංකඩක් හරස් කර පොලිස් ස්ථානයක් ඉදිකිරීමට යයි

අලි මංකඩක් හරස් කර පොලිස් ස්ථානයක් ඉදිකිරීමට යයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, මොරගොඩ ග්‍රාම සේවා වසමේ, මොරගොඩ පාසැල අසලින් වැටී ඇති අලි ඇතුන් ඉතා සුලභව භාවිතා කරනු ලබන අලි මංකඩ අවහිර වන පරිදි මොරගොඩ පොලිස් ස්ථානය ඉදිකිරීමට කටයුතු ආරම්හ කර ඇති බව අප වෙත වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය විසින් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වයා වෙත ලිපියක් යවමින් දැනුවත් කර තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙතෙක් කලක් කුලී පදනම මත පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය එම පොලිස් ස්ථානය සඳහා ස්ථීර රජයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මෙසේ අලි මංකඩ අවහිර වන පරිදි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රිටිගල අඩවියේ, මොරගොඩ බීට්ටු කාර්යාලය පිහිටි අක්කර දහයක පමණ ඉඩමෙන් අක්කරයක පමණ කොටසක් යොදා ගැනීමට කටයුතු කරමින් පවතී.

හබරණ - මින්නේරිය - රිටිගල යන ප්‍රදේශවල සැරි සරණ 300ක් පමණ වන අලි රංචුවක් වසරේ අගෝස්තු පමණ සිට අනුයාත වසරේ පෙබරාවාරි පමණ දක්වා නිති පතාම පාහේ මෙම අලි මංකඩ භාවිතා කරමින් මොරගොඩ වැව, මානංකට්ටිය වැව හා එරු වැව යන ජලාශ වල ජලපෝෂක වනාන්තර වෙත කලින් කලට සංක්‍රමණය වෙමින් ජීවත්වන බව දැනගන්නට ලැබී තිබේ  එසේම තනි අලින් වසර පුරාම තමන්ගේ වාසභූමි වල විවිධ ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම සඳහා මෙම අලි මංකඩ භාවිතා කරනු ලබයි. මීට මදක් දුරින් පිහිටි උණගොල්ලෑව අලි මංකඩද මේ වන විට කුඹුරු වගා කිරීම නිසා අවහිරවී ඇති පසුබිමක මෙම මොරගොඩ අලි මංකඩ අවහිර වුව හොත් ඉදිරියේදී මොරගොඩ, උණගොල්ලෑව, බැඳිවැව, නාවක්කුලම, අමුණුකොලේ වැනි ගම්මාන රැසක අලි-මිනිස් ගැටුම සීග්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් පවතී.

ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් සංරක්ෂණය කිරීම හා අලි-මිනිස් ගැටුම අවමකිරීම සඳහා 2014 වසරේ ඉදිරිපත්කෙරුණු සැලැස්මකට අනුව අලි මංකඩ 16ක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබේ. නමුත් මොරගොඩ අලි මංකඩ අවහිර කරමින් පොලිස් ස්ථානයක් ඉදිකිරීමට කටයුතු කිරීමෙන් ඇතිවන ගැටළුව වන්නේ පැරණි අලි මංකඩ ප්‍රතිස්ථාපනය කිරීමට ලබාදෙන ප්‍රමුඛතාවය දැනට අලි ඇතුන් විසින් සුලභව භාවිතා කරන අලි මංකඩ ආරක්ෂා කරගැනීම සඳහා ලබා නොදෙන්නේද යන්නයි.

‘වන අලි සංරක්ෂණ ප්‍රදේශ, වන අලි කළමනාකරණ ප්‍රදේශ, සහ වන අලි පිවිසුම් (අලි මංකඩ) සැලකිල්ලට ගනිමින් වන අලි වාසභූමි හඳුනාගැනීම සහ සිතියම්ගත කිරීම මගින් අලි ඇතුන්ගේ නිදහස් සංචරණය සහතික කිරීම’ වර්ෂ 2020 ක් වූ දෙසැම්බර් මස රජයට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම මගින්ද අවධාරණය කර ඇති කරුණකි. මිනිසුන් සමග ගැටුම් ඇති කර නොගනිමින් ආහාර සපයා ගැනීම සහ සහකරුවන් සොයා ගැනීම වැනි චර්යාත්මක අවශ්‍යතා සඳහා තම වාසභූමියේ එක් කොටසක සිට තවත් කොටසකට අලි ඇතුන්ට ගමන් කිරීමට මෙවැනි අලි මංකඩවල් ඉවහල් වීම ඊට හේතුවයි.

එබැවින් මේ පිළිබඳව ඔබගේ කඩිනම් අවධානය යොමුකර පොලිස් ස්ථානය ඉදිකිරීම සඳහා සුදුසු විකල්ප ඉඩමක් ලබාදී, මොරගොඩ අලි මංකඩ ආරක්ෂා කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප උදක්ම ඉල්ලා සිටිමු.