භාණ්ඩාගාරයට ඩොලර් සෙවීමට ජනපති ටෙලිකොම් විකුණයි - සේවක රැකියා අනතුරේ

භාණ්ඩාගාරයට ඩොලර් සෙවීමට ජනපති ටෙලිකොම් විකුණයි - සේවක රැකියා අනතුරේ

හිටපු ජනාධිපතිවරයා හා වත්මන් ජනාධිපතිවරයා ටෙලිකොම් ආයතනයේ ඉතිරි කොටස් විකිණීමට උත්සාහ ගන්නා බව දැනගත් වහාම අප වෘත්තීය සමිති 2022.04.19 සහ 2022.09.01 එයට දැඩි විරෝධය දක්වා ලිපි දෙකක් යවන ලදී. එහෙත් වත්මන් ජනාධිපතිවරයා 2022.11.14 දින අයවැය ඉදිරිපත් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, හිල්ටන් හෝටලය, වොර්ටස් එජ් හෝටලය, ඇතුළු ලාභ ලබන රජයට හිමි ආයතන ප්‍රතිව්‍යුහගත කරන බවයි.

නොබෝදා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් අන්ත පරාජයකට ලක්ව රනිල් අනුප්‍රාප්තික ජනාධිපති වීම නිසා හිස්වූ එජාපයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම්කළ වජිර අබේවර්ධන ටෙලිකොම් ඉදිරියේ දී රටේ ජනතාව මත කඩා වැටීමට නියමිත ව්‍යසනයක් බව දක්වමින් එය පුද්ගලීකරණය කළ යුතු යයි කියා සිටීය. වජිර අබේවර්ධන යනු එජාපයේ සිටින කපුටාය. ඇවන්ගාඩ් වංචාව, දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කොමිස් ලබා ගැනීමට උත්සාහ කිරීම ආදී බොහෝ අක්‍රමිකතා හා වංචාවලට මොහුගේ නම ගෑවී ඇත. වජිර අබේවර්ධනලා වැනි තක්කඩින් මේ සැරසෙන්නේ තවත් කොමිස් මුදලක් ගිල දැමීමට බව පැහැදිලිය.

මෙම වසරේ පළමු කාර්තු තුන ඇතුළත පමණක් රාජ්‍ය බදු ගෙවීමෙන් පසුව ටෙලිකොම් රුපියල් කෝටි 933 ක ශුද්ධ ලාභයක් උපයා ඇත. එය රජයට විශාල ආදායමක් උපයා දෙයි. මේ සැරසෙන්නේ එකී ආදායම මුදලාලිලාට ලබාදී ඉන් කොමිස් ගරා ගැනීමටය.

ටෙලිකොම්හි කළමනාකරණය හා පරිපාලනය හොඳ එකක් යැයි අපි නොකියමු. කලක පටන්ම ඒවායේ පවතින වැරදි හා අක්‍රමිකතා පෙන්වා දුන්නේ වෘත්තීය සමිති විසිනි. එහෙත් රජය ඒ පිළිබඳ නෑසූ කන්ව සිටීහ. යම් හෙයකින් එය කඩා වැටීමට නියමිත බවක් පෙනේනම් රජය කළ යුත්තේ එයට නිසි පිළියම් යෙදීම විනා මේ වනවිට රජයට දැවැන්ත ආදායමක් ලබා දෙන ටෙලිකොම්හි එම ලාභය පුද්ගලික මුදලාලිලාට ලබා ගැනීමට ඉඩහැර ඉන් පරම්පරා ගණනකට ප්‍රමාණවත් සේ කොමිස් ගසා කෑම නොවේ.

තත්ත්වය එසේනම් ටෙලිකොම්හි කොටස් 35%ක් පුද්ගලීක අංශයට විකුණා දැමීමෙන් පසු මසකට ලක්ෂ 40 දක්වා ඉහළ දමා ඇති ආයතන ප්‍රධානීන්ගේ වැටුප් වැනි අනවශ්‍ය වියදම් කපා දැමීමට රජය පියවර නොගත්තේ ඇයි යනුවෙන් ඇසීමට අපට සිදුව ඇත.

ප්‍රතිව්‍යුහගත කිරීම යනු සේවකයින් රවටා ආයතනය කුණු කොල්ලයට විදේශ හෝ දේශීය ව්‍යාපාරිකයින්ට අධික ලාභ ලැබීම සඳහා ලබාදීමයි. රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සියළු ව්‍යාපාර හැකිලෙමින් තිබෙන මේ අවස්ථාවේ ටෙලිකොම් ඉතිරි කොටස් පුද්ගලීකරණය කිරීම තුලින් දහස් ගණනක් සේවකයින්ගේ රැකියා අහිමිවී ටෙලිකොම්හි එළිපත්තට වැටෙති.

ජනාධිපතිවරයා මෙවර අය වැයට ඉදිරිපත් කර ඇති කම්කරු නීති සංශෝධනය තුලින් පෞද්ගලික ආයතනවල රැකියා අහිමිවන සේවකයින්ට වන්දියක් ලෙස තෙමසක වැටුප රක්ෂණාවරණයක් ලෙස ලබාදීමට සුදානම් කර ඇත.

රටට නිදහස ලැබීමෙන් පසු පාලනය කළ අදූර දර්ශී, දූෂිත, අසමත්, අධිරාජ්‍යවාදී ගැති පාලකයන්ගේ දුර්වල පාලනය හේතුවෙන් රට මේ වනවිට ආර්ථික, දේශපාලනික හා සමාජීය වශයෙන් දැඩි අර්බුදයකට ගොදුරුව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට දරුවන් ලක්ෂ ගණනින් මන්දපෝෂණයට ගොදුරු වෙමින් ද, තරුණයින් හා ශිෂ්‍යයින් ඉච්චාභංගත්වයට පත්වෙමින් ද, ධීවරයින් ගොවීන්ට තම රැකියා කර ගැනීමට අවශ්‍ය ඉන්ධන පොහොර නොමැතිකම හා මිල අධික වීමෙන් ද, වැඩකරන ජනතාවගේ වැටුපින් 1/3 ක් ප්‍රවාහන වියදම් ලෙස රැකියාවට පැමිණීමට ගෙවමින් ද, බඩු මිල තුන් ගුණයකින් ඉහළයාම හේතුවෙන් ජනයාගේ සියළු වැඩ කටයුතු අකර්මන්‍යවී වැටුප් හෝ ඉපයීම් මඟින් එදා වේලවත් සපයාගත නොහැකි තත්වයට පත්ව ඇත. විදේශ වලින් ගෙන් වන භාණ්ඩ පමණක් නොව අමුද්‍රව්‍ය පවා ගෙන්වා ගැනීමට ඩොලර් නොමැති වීමෙන් විශාල වශයෙන් රැකියා අහිමි වෙමින් ඇත. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන තැනක් ගනු ලැබුණි. රාජ්‍ය ව්‍යවසාය කාර්යක්ෂම කිරීමට අවශ්‍ය නම් ඒවා දේශපාලන ඇඟිලි ගැසීම් වලින් නිදහස් කොට ඒවාට ස්වාධීනව තීන්දු තීරණ ගැනීමට පරිසරයක් සකස් කොට ඒවා නිසි නියාමණයකට හා විගණනයන්ට යටත් කළ යුතුය. නොඑසේ නම්, ඒවා පෞද්ගලීකරණය මඟින් සිදුවන්නේ රටේ ආර්ථිකය තවත් පහළට වැටීමත් ජන ජීවිතය අඩාල වීමත් පමණි.

ලංකාවේ වී අලෙවි මණ්ඩලය, පොහොර සංස්ථාව හා ඒවායේ දේපළ පෞද්ගලීකරණය කිරීම හරහා අප ලබාගත් අත්දැකීම්ද සැලකිල්ලට ගත් විට ලංකාවේ සහල් වෙළෙඳපොළ මුදලාලිලා කිහිප දෙනෙකුත් පොහොර වෙළෙඳපොළ පොහොර සමාගම් කිහිපයකුත් විසින් පාලනය කරන තැනට පත්ව ඇත්තේ මේ නිසාය. මේ වන විට ලංකාව තුළ 60% කගේ පමණ ආහාර සුරක්ෂිතතාවය නැතිව හෝ නැති වීමට නියමිත බවට බොහෝ දේශීය හා ජාත්‍යන්තර සංවිධාන විසින් කරුණු දක්වා ඇත.

පසුගිය රජයන් අතීතයේදී කළ වැරදි වලින් මේ මොහොතේ හෝ පාඩම් ඉගෙන ගත යුතුය. නොඑසේ එම වැරදි තව දුරටත් සිදු කිරීමෙන් වන්නේ පවතින වියවුල් වඩාත් උත්සන්න වීමයි. මේවන විටත් ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් වසරකට තම ලාභයෙන් අතිවිශාල මුදලක් ලංකාවේ භාණ්ඩාගාරයට ලබාදෙයි. ශ්‍රී ලංකා ටෙලිකොම් යනු ලංකාවේ විදුලි සංදේශ සේවා සැපයීමේ ක්ෂේත්‍රය තුළ තිබෙන ප්‍රමුඛම ආයතනයකි. එකී ක්ෂේත්‍රයට රජයට යම් මැදිහත්වීමක් කළ හැකි එකම ආයතනයද එයයි. අද ලෝකයේ කර්මාන්ත හා වාණිජමය කටයුතු වෙනුවෙන් අවශ්‍යම කරන යටිතල ව්‍යුහ පහසුකමක් වන්නේ විදුලි සංදේශ සේවාවන්ය. මේ වනවිට ලංකාවේ පාසැල් මට්ටමේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පවා විදුලි සංදේශ සේවාවන් අත්‍යාවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි.

ගල්කිස්ස,කොළඹ සහ මාතර ප්‍රදේශ වලින් මුහුදු පත්ලෙන් ගමන් කරන සංදාම ඔස්සේ රට ජාත්‍යන්තරය හා සම්බන්ධ කරන සේවා විශාල සංඛ්‍යාවක් ලබා දෙන්නේද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයයි. මහජන බදු මුදලින් ගොඩ නැගු ටෙලිකොම් සතු ඉඩම් ඇතුළු සියළු සම්පත් මෙන්ම රටට ඉතා වැදගත් ඉහත සංදාම විදේශිකයින් නතු වීම අමනෝඥ ක්‍රියාවකි.

එසේ රටේ සෑම අංශයකටම අත්‍යාවශ්‍යම සේවාවක් වන විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රය තුළ සීමිත ලෙසින් හෝ රජයට පාලනයක් ඇති ආයතනයක, රජයට හිමි කොටස් ප්‍රමාණය විකුණා දැමීම යනු එම ක්ෂේත්‍රය තුළ රජයට බලපෑමක් කළ හැකි එකම යාන්ත්‍රණය නැති කර ගැනීමකි. එය අනාගතයේ දී රටේ සෑම ක්ෂේත්‍රයකටම අතිශය බරපතල සෘණාත්මක බලපෑම් ඇති කරනු ඇත. තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය යනු රටක ජාතික ආරක්ෂාවට ද ඉතා වැදගත් ක්ෂේත්‍රයකි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලීකරණය කිරීම තුලින් ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට, වැදගත් වන තොරතුරු මෙන්ම රටේ මහජනතාවගේ තොරතුරුද විදේශයන් නතුකර ගැනීම නොවැලැක්විය හැකි වනු ඇත.

මේ නිසා අප රටේ සුභසිද්ධිය හා සේවක යහපත පිළිබඳව සළකමින් ශ්‍රී ලංකා ටෙලිකොම්හි රජය සතු කොටස් විකුණා දැමීම සම්බන්ධයෙන් අපගේ දැඩි විරුද්ධත්වය පළකොට එය වළක්වාලිය යුතුය.පෞද්ගලීකරණයට සැරසෙන අනිකුත් ආයතනවල සේවකයින් සමඟ ඒකාබද්ධව මහජන දේපල කුණු කොල්ලයට විදේශිකයින්ට විකිණීමට එරෙහිව සටන් වැදිය යුතුය.

ලාභ ලබන ටෙලිකොම් විකිණීමට එරෙහි වෙමු.!!! සේවක රැකියා සුරක්ෂිත කරමු. !!!

මහජන දේපල කුණු කොල්ලයට විදේශිකයින්ට පැවරීමට එරෙහි වෙමු.!!!

  • ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය
  • ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
  • පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය
  • තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය
  • පාරිභෝගික සේවා හා සමාන්තර සේවා නිලධාරීන් සංගමය
  • සමස්ත ලංකා ටෙලිකොම් සේවා සංගමය
  • ශ්‍රී ලංකා ඉංජිනේරු පොදු සේවක සංගමය
  • විදුලි සංදේශ ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය
  • විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
  • නව කළමනාකරණ උපාධිධාරී සේවා සංගමය
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය
  • සමගි සේවක සංගමය
  • ශ්‍රි ලංකා ටෙලිකොම් සැලසුම් ශිල්පීන්ගේ සංගමය
  • ටෙලිකොම් පරිපාලන නිලධාරීන්ගේ සංගමය
  • ජාතික සේවක සංගමය
  • එක්සත් විදුලි සංදේශ ඉංජිනේරු සේවක සංගමය
  • තොරතුරු තාක්ෂණ වේදීන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා ටෙලිකොම් මෝටර් රථ රියදුරු සංගමය
  • සමස්ත ලංකා සියලු සේවක සංගමය
  • ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය

(ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වෘත්තීය සමිති එකමුතුව විසින් ටෙලිකොම් ආයතනය විකුණා දැමීමට එරෙහිව සේවකයින් දැනුවත් කිරීම සඳහා බෙදාහරින ලද පත්‍රිකාවකි)