සමාජ සුබසාධන ප්‍රතිලාභී සමීක්ෂණය සිදුකරන නිලධාරින්ගේ ගැටළු විසඳා නෑ

සමාජ සුබසාධන ප්‍රතිලාභී සමීක්ෂණය සිදුකරන නිලධාරින්ගේ ගැටළු විසඳා නෑ

පාලකයින් රැකෙන, සංවර්ධන නිලධාරීන්ට ගැටළු ඇති කරන, ජනතාවගේ ප්‍රතිලාභ කැපෙන සමාජ සුබසාධන ප්‍රතිලාභ සමීක්ෂණ සිදුකරන නිලධාරීන්ගේ ගැටළු විසඳී නොමැති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ, ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දැනුවත් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සමාජ සුබසාධන ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ සමීක්ෂණය පිළිබඳව මතු වී තිබුණු ගැටළු සම්බන්ධයෙන් අප සංගමයේ ඉල්ලීම පරිදි 2022.11.28 දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සාකච්ඡාවක් පැවැත්විණ. එම සාකච්ඡාව සමාජ සුබසාධන මණ්ඩලයේ සභාපතිතුමා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ජී. ධර්මතිලක යන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සංවර්ධන නිලධාරී සහ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. එම සාකච්ඡාවේ දී අප විසින් අවධාරණය කළ කරුණු ගණනාවක් පිළිබඳව සතියක් තුළ පිළිතුරු ලබාදෙන බවට එකඟ විය. එක් කුටුම්භ පරීක්ෂණයකට ලබාදෙන දීමනාව පිළිබඳව ලිඛිතව ඉන් අනතුරුව දැනුම් දී තිබුණත් අනෙකුත් කාරණා සම්බන්ධයෙන් ලබා දී ඇති පිළිතුරු සෑහීමකට පත්විය නොහැකි බව දන්වා සිටිමු.

ඉහත නොවිසඳුන ගැටළුවලට අමතරව ප්‍රායෝගික ක්‍රියාවලියේ දී මතුවන ගැටළු රාශියක් හඳුනා ගැනීමට හැකිය. ඒවා පහත පරිදි සඳහන් කරමු.

  1. සමාජ සුබසාධන පනතේ 21, 22 වගන්ති තව දුරටත් මෙම වැඩසටහන තුළ බලාත්මක වීම. (නීතිපතිතුමා සිදුකළේ යැයි සඳහන් ප්‍රකාශය පිළිබඳ වෘත්තීය සමිති ලෙස අප නොදන්නා අතර අදාළ වගන්ති මඟින් හානියක් නොවන බව නීතිපතිවරයාගේ මතය යැයි සභාපතිවරයා විසින් කර ඇති දැනුම් දීම ප්‍රමාණවත් නොවේ.)
  2. නිලධාරීන් සතුව ඇති බොහෝ ජංගම දුරකතනවල ක්‍රියාකාරීත්වය අස්වැසුම මෘදුකාංගය සක්‍රිය කිරීමට ප්‍රමාණවත් නොවීම, බොහෝ දුරකතනවල මතක ගබඩාව, රැම් ධාරිතාව, බැටරි ධාරිතාව සහ තාක්ෂණික නොදියුණු බව නිසා එම දුරකතන මඟින් මෙම ගූගල් සමීක්ෂණය සිදු කිරීම බොහෝ නිලධාරීන්ට අපහසු වී තිබේ. මෙම අස්වැසුම මෘදුකාංගය භාගත කරගැනීමේ දී සමහර නිලධාරීන් ඔවුන් විසින් පෞද්ගලිකව භාවිත කරන වට්සැප්, මැසෙන්ජර් වැනි මෘදුකාංග ඉවත් කිරීමට සිදු වීම,
  3. උතුරු, නැගෙනහිර ප්‍රදේශවල දමිළ නිලධාරීන් සිංහල ජනතාව බහුලව වාසය කරන ප්‍රදේශවල රාජකාරී කිරීමේ දී ගූගල් සමීක්ෂණ තොරතුරු ලබා ගැනීමේ දී ඇතිවන භාෂාමය ගැටළු,
  4. බොහෝ ග්‍රාම නිලධාරී සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී වෘත්තීය සංගම් මෙම සමීක්ෂණ කටයුතු වලින් ඉවත්ව සිටීම නිසා තොරතුරු තහවුරු කර ගැනීමට සංවර්ධන නිලධාරීන්ට ඇති අපහසුතාවය,
  5. ලෝක බැංකු කොන්දේසිවලට අනුව ලංකා ආණ්ඩුව ජනතාවට ලබාදෙන සුබසාධන වියදම් කපා හැරීමට පනවා ඇති කොන්දේසි අනුව මෙම සමීක්ෂණය පාදක කරගනිමින් බොහෝ සමාජ ප්‍රතිලාභ ජනතාවට අහිමි කිරීමේ අවධානමක් පැවතීම,
  6. අඩු ආදායම්ලාභී, ආබාධිත, වැඩිහිටි, වකුගඩු ඇතුළු විවිධ කාණ්ඩ යටතේ සැබවින්ම ප්‍රතිලාභ ලැබිය යුතු ප්‍රමාණය ඉක්මවා සෑම ආණ්ඩුවක්ම තම ඡන්ද පදනම වැඩි කර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වැඩි කර විශාල මුදලක් ඒ වෙනුවෙන් රටේ ජාතික ධනයෙන් භාණ්ඩාගාරයට දැරීමට සිදු වීම. මේ වන විට රට තුළ ඇති වී ඇති ආර්ථික අර්බුධයට එක් විසඳුමක් ලෙස ප්‍රතිලාභීන් අඩු කිරීමේ සැලැස්මක ආණ්ඩුව නිරත වන බව හැඟේ. එම තත්වයට වගකිව යුතු දේශපාලඥයින් පසෙකට වී ප්‍රතිලාභ අහෝසි කිරීමක් මත ඇති විය හැකි ජනතාවගේ විරෝධය සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් වෙත යොමු කිරීමේ ආණ්ඩුවේ උත්සහයට ද අප එකඟ නොවෙමු,
  7. 2022.12.14 දින සහිතව මේ පිළිබඳ සාකච්ඡාවක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු විසින් කැඳවා තිබූ අතර එහි පළමු ලිපියේ සඳහන් කර ඇති වෘත්තීය සමිති අතර අප වෘත්තීය සමිතියේ නම සඳහන්ව නොතිබූ බවත් පසුව 2022.12.15 දින නිකුත් කර ඇති ලිපියෙහි අප සංගමයේ නම ද සඳහන්ව තිබුණ ද අදාළ ලිපි අප සංගමය වෙත යොමු නොවූ බවත් සඳහන් කරන මෙම ලිපි අප දුටුවේ ද සමාජ මාධ්‍යජාලා හරහා බවත් සඳහන් කරමු.

ඉහත කරුණු අනුව මෙම සමීක්ෂණය ආර්ථික සංවර්ධන නිලධාරීන්ට සහ සංවර්ධන නිලධාරීන්ට අනිවාර්ය නොකරන ලෙස ඉල්ලා සිටිමු. සිය කැමැත්තෙන් ඉදිරිපත් වන නිලධාරීන්ට පමණක් එම රාජකාරී කිරීමට බාධාවක් නොවන බව ද සඳහන් කරමු. නමුත් සමීක්ෂණයට සම්බන්ධ නොවන නිලධාරීන්ට ආයතනිකව සිදුවන බලපෑම් කිරීම නතර කරන ලෙසත් එසේ සමීක්ෂණ නොකරන නිලධාරීන් අප ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස එසේ කරන බවත් අප මෙයින් යළිත් ලිඛිතව දන්වා සිටිමු.