රාජ්‍ය බැංකු කොටස් විකිණීමට එරෙහිව සටන් රැල්ලක්

රාජ්‍ය බැංකු කොටස් විකිණීමට එරෙහිව සටන් රැල්ලක්

ඉතිහාසය පුරා රාජ්‍ය බැංකු පෞද්ගලීකකරණයෙන් රාජ්‍ය බැංකු කොටස් වෙළඳපොළේ විකුණා දැමීමට ආණ්ඩුව දරන මෙම උත්සාහය පරාජය කිරීම සඳහා සියලු රාජ්‍ය බැංකු කේන්ද්‍රකර ගනිමින් විරෝධතා උද්ඝෝෂණ හා රජය ඒ සඳහා ඇහුම්කම් නොදුනහොත්, අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා වූ ඕනෑම ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටත් තීන්දුකර ඇති බවට ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කිය සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, රටේ පවතින ආර්ථිකයට උරදෙන පොදු මහජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීමට අත දෙන රාජ්‍ය බැංකු සිය සේවාව සලසන අතරම ලාභයක් ද උපයමින් දශක ගණනාවක් රටේ මූල්‍ය හා බැංකු පද්ධතිය තුළ අද්විතීය කාර්යභාරයක් ඉටු කර ඇත. විශේෂයෙන්ම ප්‍රධාන වාණිජ බැංකු දෙක වන ලංකා බැංකුව හා මහජන බැංකුව විසින් එහිදී උසුලන ලද කාර්යභාරය නොවන්නට අපේ රට මේ වන විටත් දැනට වැටි ඇති මට්ටමට ද වඩා ආර්ථිකමය වශයෙන් පහළට ඇද වැටෙනු නොඅනුමානය. එසේම රාජ්‍ය බැංකු අද දක්වාම ලාභ උපයමින් එතුලින් මහා භාණ්ඩාගාරයට බදු හා ලාභාංශ ගෙවමින් රට හා ජනතාව වෙනුවෙන් තම යුතුකම් කොටස මනාව ඉටුකර ඇත.

එවන්වූ රාජ්‍ය බැංකුවල කොටස්වලින් 20% පුද්ගලික අංශයට විකිණීම ජාතික අපරාධයක් වන අතර එය මෙම බැංකු පූර්ණ වශයෙන්ම විකුණා දැමීමේ මුල් පියවර මිස අන් කිසිවක් නොවන බව ඉතිහාසය පුරා ඒ ඒ ආණ්ඩු විසින් මෙවැනි ක්‍රියාමාර්ග හරහා රාජ්‍ය ව්‍යවසායන්ට අත්කරදුන් ඉරණම හොඳින් දන්නා අපහට රහසක් නොවේ.

පවතින ආර්ථික අර්බුදයට විසඳුම බැංකු ඇතුලු ජාතික සම්පත් විකුණාගෙන කෑම නොව ඒවායේ කළමනාකරණය හා ව්‍යාපාරික සැකැස්ම වඩාත් ශක්තිමත් කරමින් දේශපාලන අතපෙවීම් වලින් තොරව ආයතනික යහපාලනය තුළින්  ඒවා ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීමයි. එවිට රාජ්‍ය බැංකු ජනතාවට දැනටද වඩා සේවයක් සලසමින් වඩා ලාභයක් උපයමින් මීට වඩා ප්‍රගමනකාරීව ඉදිරියට යනු ඇත.

පසුගිය අතුරු අයවැය යෝජනාවන්හී 18 වන වගන්තියේ රාජ්‍ය බැංකුවල කොටස් විකිණීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ පොලී අනුපාතික වැඩිවීම, අක්‍රීය ණය වැඩිවීම හා ණය ලබාගෙන ඇති ව්‍යාපාර ගැටලුවලට මුහුණදීම තුළ ද්‍රවශිලතා ගැටලු ඇතිවීම බවයි. මෙය බැංකු පද්ධතියේ ප්‍රශ්නයක් මිස රාජ්‍ය බැංකුවලට සුවිශේෂී ප්‍රශ්නයක් නොවේ. එසේම එම ගැටලු පැන නැගීමට හේතුව ද මෙතෙක් පැවති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුව ද ගෙනයන වැරදි ආර්ථික උපායමාර්ගවල ප්‍රතිඵලයක් මිස රාජ්‍ය බැංකුවල ක්‍රියාකාරිත්වයේ ගැටලුවක් නොවේ. එසේම රාජ්‍ය බැංකුවල ද්‍රවශීලතාවට බලපාන ප්‍රධානම හේතුව මෙහිදී වසංකර ඇත. ඒ අන් කිසිවක් නොව රජය හා රාජ්‍ය ව්‍යවසායන් රාජ්‍ය බැංකු වෙතින් ලබාගෙන ඇති අධික ණය ප්‍රමාණයයි. සාමාන්‍යයෙන් බැංකුවකින් ණය ලබා ගැනීමේ දී අදාළ බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණය අනුව ලබාදිය හැකි ඒකපුද්ගල ණය සීමාවන් ඇත. නමුත් 2007 දී මහ බැංකු මග පෙන්වීම් මගින් රාජ්‍ය බැංකු විසින් රජයට හා සමහර රාජ්‍ය ව්‍යවසායන්ට එම ණයදීමේ සීමාවන් ඉවත්කර ඇති බැවින් මෙලෙස අසීමිත ලෙස ණය මුදා හැරීමට සිදුව ඇත.

තවද රාජ්‍ය බැංකු කිසිවක් පාඩු නොලබන අතර ඒවා ලාභ උපයමින් ලාභාංශ හා බදු මහ භාණ්ඩාගාරයට නිසි පරිදි ගෙවා ඇත. පසුගිය වසර පහ තුළ ප්‍රධාන රාජ්‍ය වාණිජ බැංකු දෙක විසින් එලෙස ගෙවන ලද බදු හා ලාභාංශ ප්‍රමාණය බිලියන 100 ඉක්මවා ඇත. මෙම බැංකු මෙලෙස රටේ ආර්ථිකයට දායක වී ඇත්තේ වාණිජමය තරඟකාරී සේවාවන්ට අමතරව රජයේ සුභසාධක ඇතුළු වෙනත් ලාභ නොලබන සේවාවන් ගණනාවක් සපයන අතරතුරය. එසේම වී වගාව ඇතුළු කෘෂිකාර්මික බෝග සඳහා ඒ ඒ ආණ්ඩු හරහා ලබාදෙන සහනයන් සියල්ල ද ලාභයෙන් කපා හැරීම්වලට ද මුහුණ දෙමින්ය.

එසේම මේ වනවිට ප්‍රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව හා මහජන බැංකුව සලකා බැලීමේ දී ඒවායේ ප්‍රාග්ධන ප්‍රමාණයන් අනුව කොටස් 20% විකිණීමෙන් ලබාගැනීමට හැකියාව ඇත්තේ රුපියල් බිලියන 50 ක පමණ මුදලකි. නමුත් එම බැංකු දෙකේ ප්‍රධාන පෙලේ ගෙවීම් පැහැර හැරී ණයකරුවන් 10 දෙනා සැලකීමේ දී ඔවුන් විසින් පැහැර හැර ඇති ප්‍රමාණය රුපියල් බිලියන 100 ට ආසන්න වේ. රජය කළ යුත්තේ එම ණය අයකර ගැනීමට බැංකු විසින් දැනට පවතින නීති රීති යටතේ දරන උත්සාහයන් තවත් ශක්තිමත් කරමින් ඒවා අයකර ගැනීමට කටයුතු සම්පාදනය කිරිම මිස මෙම වටිනා ජාතික සම්පත් කෙටිකාලීන අරමුණු උදෙසා කුණු කොල්ලයට විකිණීම නොවේ.

අප විසින් මේ පිළිබඳව මේ වනවිට ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යංශය ඇතුළු සියලු වගකිවයුතු අංශ ලිඛිතව දැනුවත් කරමින් කරුණු දක්වා ඇති නමුත් මේ දක්වා සාකච්ඡාවක් හෝ ලබාදී නොමැත.

එබැවින් ඉතිහාසයේ කළ පරිදිම රාජ්‍ය බැංකු විකිණීමේ ක්‍රියාදාමය පරාජය කිරීම පිණිස සංගමයක් ලෙස ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සැලසුම්කර ඇත. ඒ අනුව මේ වනවිට දිවයිනේ කොළඹ ඇතුළු සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් හා එයට සමගාමීව පිකට් උද්ඝෝෂණ මාලාවක් දියත් කරමින් කොළඹ නගරයේ එම ක්‍රියාමාර්ග අවසන් කර ඇත.

එසේම එළඹෙන ජනවාරි මුල් සතියේ සිට සියලු රාජ්‍ය බැංකු කේන්ද්‍රකර ගනිමින් විරෝධතා උද්ඝෝෂණ හා කොළඹ නගරයේ දී මහා සාමාජික රැස්වීමක් පැවැත්වීමට සැළසුම්කර ඇත. එසේම අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා වූ ඕනෑම ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටත් තීන්දුකර ඇත. එබැවින් ඉතිහාසය පුරා රාජ්‍ය බැංකු පෞද්ගලීකකරණයෙන් රැකගත් වෘත්තීය සංගමයක් ලෙස අප රාජ්‍ය බැංකු කොටස් වෙළඳපොළේ විකුණා දැමීමට ආණ්ඩුව දරන මෙම උත්සාහය පරාජය කරන බවට සපථකර සිටින අතර ඒ සඳහා රටේ යහපත අපේක්‍ෂා කරන සමස්ත ජනතාවට අප හා එක්වන මෙන් සහෝදරාත්මකව ආරාධනාකර සිටිමු.