සමාජ මාධ්‍ය ක්‍රියාකාරික දර්ශනට එරෙහිව වාරණ නියෝගයක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික දර්ශනට එරෙහිව වාරණ නියෝගයක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හදුන්ගොඩට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් නිකුත් කර ඇත.

ඒ, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට හා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූටියුබ් නාලිකාව ඔස්සේ උඩුගත කිරීම වළක්වමිනි.

අදාල අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම විසින් මෙම වාරණ නියෝග නිකුත් කර තිබේ.

අදාළ වාරණ නියෝගය ලබන 10 වන දක්වා බලපැවැත්වෙන බවත් අධිකරණය නියෝග කළේය.

දැඩි මතභේදයට තුඩු දී තිබෙන 'එස්ප්‍රස් පර්ල්' වන්දි නඩුව සම්බන්ධයෙන් අසත්‍ය කරුණු යූටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය කිරීමද මෙම වාරණ නියෝගය තුළින් තහනම් කර තිබේ.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වාදී තිබුණේ විත්තිකරු විසින් පසුගිය 20 වැනි දින අදාළ අසත්‍ය තොරතුරු සහිත වීඩියෝවක් 'යූටියුබ්' නාලිකාවකට උඩුගත කර ඇති බවයි. ඒ තුළින් සිය සේවාදායකයින්ට වැඩි අපහාසයක් සහ අගතියක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එසේ අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම තුළින් පැමිණිලිකරුවන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක හා රුපියල් මිලියන 500 බැගින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා මෙම පැමිණිලි දෙක මගින් ඉදිරිපත් කර ඇත.

(the leader)