PTA - ATA ඇතුළු ආණ්ඩුවේ ජන පීඩනයට එරෙහිව පෙළගැසෙමු

PTA - ATA ඇතුළු ආණ්ඩුවේ ජන පීඩනයට එරෙහිව පෙළගැසෙමු

අපේ ඉතිහාසයේ පාලකයන් විසින් කරන දරුණුම ජනතා මුලාකිරීමට අප අද මුහුණදෙමින් සිටින්නේ. තම පැවැත්ම වෙනුවෙන් ජනතාව රැවටීම කලාවක් වෙලා. උදාහරණයක් හැටියට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් අපි නිතර ම ජප කරන IMF ආයතනය අපිට ණය වාරිකයක් නිකුත් කළා. ඒක ණයක්. ණය වීමත් රතිඥා පත්තු කරලා සමරන්න තරම් අපි රැවටිලාද?  අපි හිතන් ඉන්නේ රට බංකොලොත්භාවයෙන් මිදිල කියලා.

අපේ රටේ ඇත්තම තත්ත්වය කුමක්ද?

2020 සිට රජය විදේශීය ණය ගෙවීමක් කරන්නේ නෑ. 2022 අප්‍රේල් මාසේ සිට නොගෙවූ විදේශ ණය සහ පොලිය පමණක් ඩොලර් මිලියන 4200 ක්. රුපියල් බිලියන 30000 ක් වන මුලු ණය කන්දෙන් 52% ක් දේශීය ණය වන අතර 48% ක් විදේශීය ණය වෙයි. සමස්ත ණය ඩොලර් බිලියන 84 කි. ආණ්ඩුව සගවා තිබෙන තව කාරණයක් නම් මීටත් අමතරව තවත් ඩොලර් බිලියන 20 ක මුදලක් ඉදිරි වසර 6 තුළ අප ණයට ගැනීමට IMF යෝජනා තුළ තිබෙනවා. ඇයි අපි මෙහෙම ණය වෙන්නේ. ඒ හැම ණයක් තුළම අතයට ගනුදෙනු සිදුවීම සාමාන්‍ය වෙලා. ණය ගෙවන්නේ ද අළුතින් ණය ගෙන මිස වෙනත් උපයා ගත් ආදායමකින් නොවෙයි. පාලකයන් කුමණ සුරංගනා කතා කීවත්, එදත් කලේ ණයක් ගෙන තව ණයක් ගෙවූ එකයි . අද කරන්නේත් එයයි.

රටේ ආදායම් ඉපැයීමට තිබෙන වත්කම් විකුණා දැමීම හැර විසඳුමක් මොවුන්ට නැත. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම මුවාවෙන් මෙම අසාර්ථක පාලකයන් ලාභ ලබන රාජ්‍ය ආයතන ටික විනාශ කර  විකුණමින් තියෙනවා. ව්‍යාපෘතිවලින් හොරකම් කළා, ටෙන්ඩර්වලින් වංචා කලා, රස්සා බෙදුවා, ආයතනය පාඩුයි කිවුවා, ගජ මිතුරන්ට විකුණලා දැම්මා. එදා සිට අද දක්වා සිමෙන්ති, පොහොර, ටයර්, කඩදාසි, සීනි, වානේ, පෙහෙකම්හල් ටික විතරක් නොවෙයි හම්බන්තොට, කොළඹ වරාය දක්වා විකිණුවා. ණය ගෙවුවෙත් නෑ! රට හැදුනෙත් නෑ! වර්තමානෙට උත්තරයක් හොයන්න ගිහින් අනාගතේ ලොකු ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා.  අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි මහජන සුභ සාධනය අවම කිරීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අධික ලෙස ඉහළ දැමීම ඊළඟ පියවරයි. සෞඛ්‍ය, අධ්‍යාපන සේවා ලබාගැනීම ජනතාවට සිහිනයක් පමණක් වන දිනය වැඩි ඈතක නොවේ.

දේශීය ණය කපාහැරීමත් සමග ජීවිත කාලය පුරා දුකසේ උපයාගත් සේවක අර්ථසාධක අරමුදල් (EPF) ද අතුරුදහන් වී යනු ඇත. මහ බැංකු අධිපතිවරයාම ප්‍රකාශ කල පරිදි අනාගතය ඉතා වේදනාකාරී වනු ඇත. ජනමතයක් නොමැති මෙම පාලකයින් ඔබ අප සිරකර ඇති ණය උගුල අතිශය භයංකරයි. රාජ්‍ය ,අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු මේ හැම අංශයකම සේවකයන්ට අත්වන්නේ ඛේදජනක ඉරණමක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඉරණමත් ඊට වඩා වෙනසක් නැහැ. IMF හි නිර්දේශ පරිදි ලංකාවේ හඳුන්වා දී ඇති බදු ක්‍රමයට, විදුලිය, ඉන්ධන මිල ඉහළ දැමීමට දැනටමත් ඇත්තේ ජනතා විරෝධයක්. එසේම 2025 වනවිට දේපළ බද්ද, ත්‍යාග බද්ද සහ VATබද්ද වැනි බදු ඉහළ දමමින් රජයේ බදු ආදායම ඉදිරි වසර 3 ක් තුල 100% කින් ඉහළ දැමීමට රජය IMF එකට පොරොන්දු වී ඇත.

මිනිසුන්ගේ මානව අයිතීන් අමු අමුවේ උල්ලංඝනය වන අණ පනත් රාශියක් ඉදිරිපත් කිරීමට රජය දැනටමත් සූදානම්. මේ රජය මැතිවරණය වැළැක්වීමට විවිධ උප්පරවැට්ටි කරමින් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය අහෝසි කිරීමට කටයුතු කරන ගමන් ජනතාව තම අයිතීන් වෙනුවෙන් පාරට බැසීම හඩක් නැගීම පාලනය කරමින් තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීමට විවිධ අණ පනත් ගෙන ඒමට කුමන්ත්‍රණය කරනවා. ජනවාර්ගික අර්බුදයක් නැති, ආගමික අර්බුදයක් නැති, බෙදුම්වාදී අර්බුදයක් නැති මේ මොහොතේ ත්‍රස්ත පනතින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?. හොරකමට, දූෂණයට නාස්තියට එරෙහි ජනතා විරෝධය බියවද්දා යටපත් කිරීමය. මුළු රටම එළිමහන් සිර කඳවුරක් බවට පත්කර ඔබ අප සියලු දෙනා, රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවකයින්, ගොවියෝ, ධීවරයෝ, ගුරුවරු, වෛද්‍යවරු, හෙද වෘත්තිකයෝ, කලාකරුවෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, පාසල් දරුවෝ, දෙමව්පියෝ, හාමුදුරුවරු, පියතුමන්ලා, මුළු රටම එහි සිරකරුවන් කිරීමටයි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, වෘත්තිය සමිති නායකයන්, සටන්කාමී දේශපාලන නායකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරින්, ජනමාධ්‍යවේදීන් නිහඬ කිරීමටය. එබැවින්,

  • මර්ධනකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, පුරවැසි විරෝධී PTA - ATA ඇතුලු අණ පනත් පරාජය කිරීමට ද,
  • අත්තනෝමතික, අසාධාරණ සහ ජනපීඩක බදුක්‍රමය පරාජය කර සාධාරණ සහ පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමට ද,
  • දේශපාලනීකරණය කර විනාශ මුඛයට ඇද දැමු ජනතා දේපළ කුණු කොල්ලයට විකුණා දැමීමට එරෙහිව ද,
  • විදුලි බිල අඩුකර ගැනීම ඇතුලු ජනතාව පීඩාවට පත්කරන දරාගත නොහැකි ජීවන වියදම ඉහළ දැමීමට එරෙහිව ද,
  • ජනතාවගේ භාෂණයට හා නිදහස් අදහස් ප්‍රකාශනයට බාධා කිරීමට එරෙහිව ද,

එක්ව එකාවන්ව, එක්සත්ව එක්සිත්ව උපරිම ශක්ති ප්‍රමාණයෙන් පෙරට එමු!

(වෘත්තීය සමිති එකමුතුව විසින් ජනතාව දැනුවත් කිරීම බෙදාහරින ලද පත්‍රිකාවකි)

සබැඳි පුවත්