ත්‍රස්ත විරෝධී පනත, අපේ කාලයේ අත්දකින  භයානකම මානව විරෝධී අභ්‍යාසයයි

ත්‍රස්ත විරෝධී පනත, අපේ කාලයේ අත්දකින  භයානකම මානව විරෝධී අභ්‍යාසයයි

රටේ පවත්නා සාමාන්‍ය නීතිය යටතේ ආවරණය නොවන, අපරාධ සහ බරපතල මූලික අයිතිවාසිකම් උල්ලංඝන යටතට නොගැනෙන ක්‍රියා උදෙසා හඳුන්වා දී ඇති මෙම නීතිය, අපගේ පාලකයන් නැවතත් කරලියට කැන්දා ඇත්තේය. මෙහි ආරම්භය වසර 1978 යි. හඳුන්වා දුන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ලෙසිණි. එය  තාවකාලික විධිවිධානයක්  බවද පාලකයෝ තැන තැන ප්‍රකාශ කළෝය. එහෙත් එය හුරුබුහුටි මර්දනීය උපකරණයක් බැවින් වත්මන් ජනාධිපතිවරයා ද අමාත්‍ය ධුරය දැරූ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව, වසර 1982 දී  එය ම ස්ථිර කොට ඉදිරියට රැගෙන ගියේය.

එදා පටන් ජනතා කැමැත්තෙන් පත් වූ සෑම ආණ්ඩුවක්ම මෙම නින්දාසහගත නීතිය ඉමහත් ඕනෑකමින් තම පාලන උපක්‍රමයක් ලෙස ඉදිරියට ම පවත්වාගෙන ආවේය. ඒ එහි සැබෑ අරමුණ වූ ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා නොවේ. ජනතා විරෝධී ලෙස ගෙනගිය පාලනයට එරෙහි වන්නන්  බියට හා සංත්‍රාසයට පත්කිරීම උදෙසාය.

මෙම දුර්දාන්ත පනතේ සඳහන් මානව විරෝධී නෛතික ප්‍රතිපාදන අතර සැඟවෙමින් දශක හතරක් තිස්සේ අප රටෙහි පුරවැසියෝ  සිය ගණනක් අද  වනවිට පීඩාවට පත්කොට ඇත්තේය. අඳුරු සිරකුටි තුළ රඳවමින් ඔවුන්ගේ ජීවිත නැවත ජිවත් කල නොහැකි අන්දමින් විනාශ කොට ඇත්තේය.ජනතා ජන්දයෙන් එනම්  පරමාධිපත්‍යයේ නාමයෙන් ජන බලය සුරැකීමට පත්වන කවර හෝ පාලකයෙකුට මෙලෙස තමන්ගේ ම රටෙහි පුරවැසියෙක් ස්වභාවික යුක්ති ධර්මයට එපිටින් පීඩාවට පත්කිරීමට බලයක් දුන්නේ කවරෙක්ද?

මෙහි සඳහන් අගතිදායී  නෛතික භාවිතය ගැන දේශීයව නැඟුණු ප්‍රතිවිරෝධතා අපමණය.  ජාත්‍යන්තර ප්‍රජාවේ අඛණ්ඩ දෝෂ දර්ශනයට ද එය ලක්විය. එබැවින්  වසර 2016 පත්කරන ලද කමිටුවක් මඟින් ජනතාවට නිරාවරණය නොකර පැවැත්වූ සාකච්ජා ඔස්සේ හඳුන්වා දුන් නව පනත ''ප්‍රති ත්‍රස්ත පනත'' ලෙස නාමකරණයට ලක්විය. සරදම් සහගත කරුණ වන්නේ ඊට ද  නායකත්වය දුන්නේ වත්මන් ජනාධිපතිවරයා ම වීමයි.

එහෙත් වසර 2023 මාර්තු මස 22 වැනි දින ගැසට් පත්‍රයක් ඔස්සේ නිකුත් කොට ඇති ''ත්‍රස්ත විරෝධී පනත'' ලෙස හඳුන්වන  නව පනත් කෙටුම්පත, එදාමෙදා තුර මෙරටේ භාවිතයට ගත් වෙනත් කිසිදු නෛතික ලේඛනයක දිස් නොවූ අතාර්කික නෛතික ප්‍රතිපාදන සමුදායක් අන්තර්ගතය. කිසිදා මැතිවරණයක් පැවැත්වීමට සිහිනෙන් හෝ නොසිතන, බලයේ උල්පත ජනතා කැමැත්ත යැයි නොහැඟෙන, ඒකාධිපති මෘග පාලකයෙකුට හැර, මෙවැනි පනතක් ජනගත කිරීමට වෙනත් කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙකුට කිසිදා හැකියාවක් නැත්තේය.

රජයේ අකාර්යක්‍ෂම, දේශපාලන අධිකාරියේ දූෂිත, නිළධාරීන් සුළුතරයකගේ චෞර විධික්‍රම හමුවේ පීඩනයට පත්වන මහජනයා, තම විරෝධය පළකරනු ඇත්තේ පාරට බැසීමෙනි. එලෙස පාරට බසින මිනිසා මායාකාරී නෛතික උපායඋපක්‍රම ඔස්සේ ත්‍රස්තවාදියෙක් සේ සළකා එම මිනිසාගේ  හරුබස්සද රාජසන්තක කිරීමට මාන බලන අපගේ සටකපට පාලකයන්  සැබවින්ම මේ රට සෞභාග්‍යමත් දේශයක් බවට පත්කොට ඇත්තේද?

මෙම කෙටුම්පත මුලසිට අගට කියවන ලෙසත්, එලෙස කියැවීමේදී දේශපාලන පක්‍ෂ භාවිතය අමතක කරන ලෙසත් අපි සහෝදර ශ්‍රී ලාංකේය ජන ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නෙමු. අපි අපගේ ශිෂ්ඨාචාරය ගොඩනඟා ඇත්තේ අසාධාරණයට හා අයුක්තියට එරෙහිවීම සඳහා වන ආවේනික හැඟීම් රටාවකිනි. එහෙත් මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් අප සතු විරෝධය දැක්වීමේ පරම අයිතියද දූෂිත දේශපාලන නායකයන් කිහිප දෙනෙක් විසින් තම සන්තකයේ තබා ගනු ඇත්තේය.

එබැවින් ශිෂ්ඨසම්පන්න හා අංශු මාත්‍රයක හෝ මානව ගෞරවයක් රැඳුණු මහජන නියෝජිතයෙක් අප පාර්ලිමේන්තුවේ රැඳී සිටිත්නම් අප ඉල්ලා සිටින්නේ එකම ඉල්ලීමකි. මෙම මානව විරෝධී පනත් කෙටුම්පත උත්තරීතර පාර්ලිමේන්තුව  අභිමුවට ඉදිරිපත් කිරීමට හැකි සියළු ඉඩ ප්‍රස්ථා වළකනු මැනව!!

අර්ධ ඒකාධිපති පාලකයෙකුගේ මාර්ග සිතියම සලකුණු කිරීමට තම දායකත්වය දී සහෝදර ශ්‍රී ලාංකේය පුරවැසි ප්‍රජාවට ද්‍රෝහී නොවන ලෙස අපි මහජන නියෝජිතයන් වන ඔබගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු !!

manjula gajanayake 1

| මංජුල ගජනායක

විධායක අධ්‍යක්‍ෂ,

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය (IRES)